ආර්ථික මධ්‍යස්ථාන 14ක් පුද්ගලික සමාගමකට පැවරීමට සූදානමක්,

ආර්ථික මධ්‍යස්ථාන 14ක් පුද්ගලික සමාගමකට පැවරීමට සූදානමක්,

දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පුද්ගලික සමාගමකට පැවරීමට ආණ්ඩුව සුදානම් වන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය කියයි.

එම තීරණය වහා හකුළා නොගන්නේ නම් සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දමා ඊට එරෙහිව විරෝධතා පැවැත්වීමට පියවර ගන්නා බවට එම සමිතිය රජයට අනතුරු අඟවයි.

දඹුල්ලේදී ඊයේ (13වැනිදා ) පැවැති විශේෂ සාකච්ඡාවකදී තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න එලෙස රජයට අනතුරු ඇඟවීම සිදු කළේය.

එකම දිනක එකම වෙලාවක ලංකාව පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන වසා දමා විරෝධතා පැවැත්වීමට, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හා ජනාධිපතිවරයා මුණ ගැසී කතා කිරීමටද එහිදී තීරණය විය.

එම නිසා ලංකාවේ පිහිටා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පෞද්ගලික සමාගමකට පවරා දීමට වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල සංදේශය වහාම හකුළාගන්නා ලෙසත් එසේ නොකරන්නේ නම් පසුගිය ආණ්ඩුවලට සිදු වූ විපත මෙම රජයටත් සිදුවන බවද ඔවුහු පවසති.

ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම නියෝජනය කරමින් පැවැති එම සාකච්ඡාවේදී ඔවුන් සියලු දෙනා කියා සිටියේ කිසිදු පෙර දැනුවත් කිරීමකින් තොරව මෙතෙක් නිසි ලෙස ලියාපදිංචි හෝ නැති පුද්ගලික සමාගමකට ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල බදු දීමට ඇමැතිවරයා මේ වනවිට කැබිනට් පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කර ඇති බවය.

විශේෂ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම සඳහා වගකීමෙන් සීමිත සමාගමක් ස්ථාපිත කිරීම සඳහා වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පසුගිය මැයි මස 07 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත.

ඒ සඳහා නිරීක්ෂණ ලබා දෙන ලෙස අමාත්‍ය මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට එම කැබිනට් සංදේශය යොමුකර ඇත

Search