තමන්ගේ සීමාව තේරුම් අරගෙන වැඩ කරන්න..චම්පික මාලිමාවේ ඇමතිවරුන්ට කියයි

තමන්ගේ සීමාව තේරුම් අරගෙන වැඩ කරන්න..චම්පික මාලිමාවේ ඇමතිවරුන්ට කියයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ඉතාමත් භාර්යදූර ලොකු වැඩ කිරීමට තරම් දැනුමක් හෝ කුසලතාවක් ඇති පිරිසක් මාලිමා ආණ්ඩුවේ නැති බව ඔවුන් තේරුම්ගත යුතු යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා කොළඹදී ඊයේ (18දා) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

“බලයට ඒමට පෙර විශ්වකෝෂ මෙන් මේ අය පෙන්නුවට ඔවුන් කොතරම් කුඩා පිරිසක් ද යන්න දැන් සමාජයට පෙනෙනවා” යැයි ද රණවක මහතා කීවේය. ඔහු මෙසේ ද පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ සා.පෙළට ප්‍රධාන විෂයන් 5ක් නම් කරලා අතුරු විෂයන් දෙකක් අඳුනගන්න පුළුවන් කියලා ඉතිහාසය, දෙවන බස, කලා විෂයන් එක ගොඩකට දාල තියෙනවා. එතන තාක්‍ෂණික විෂයනුත් තියෙනවා. ආණ්ඩුව මේ කරලා තියෙන්නේ හොඳ පුරවැසියා බිහිකිරීමේ වගකීමෙන් නිදහස් වෙලා වෙළෙඳපොළට අවශ්‍ය සිසුවෙක් බිහිකිරීමයි. හොඳටම පැහැදිලියි දරුවෝ රැකියාවලට අදාළ දේවල් තෝරාගන්නවා මිසක් ඉතිහාසය වැනි විෂයන් තෝරා ගන්නේ නැති බව. ඒ නිසා තමයි ඉතිහාසය වැනි විෂයන් වෙළෙඳපොළට තීරණය කරන්න දෙන නව ලිබරල්වාදී ප්‍රතිපත්තියේ යන්නේ නැතිව අධ්‍යාපන වගකීමක් හැටියට භාරගන්න කියලා බොහෝ දෙනා ආණ්ඩුවට කියන්නේ. විදේශ ආධාර ගත්තට කමක් නැහැ අධ්‍යාපනය වෙනුවෙන්. නමුත් අධ්‍යාපනයේ හර පද්ධතීන් මේ විදියට හෑල්ලු කරන්න අනුරගේ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ පොරොන්දුවලටම එරෙහිවීමක්. ඒ වගේම රටේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කර හරයක් නැති තාක්‍ෂණික රොබෝවරුන් පිරිසක් බිහිකිරීමක්.

මෙයාල තේරුම් ගන්න ඕන මෙයාලට ලොකු ව්‍යාපෘති කරන්න බැරි බව. ඔවුන්ගේ සීමාව ඔවුන් මතක තබාගත යුතුයි. ලුණු සංස්ථාවත් කරන්න බැරි ආණ්ඩුවක්, කුඩා කර්මාන්තයක් කරන්න බැරි ආණ්ඩුවක්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ ලොකු වැඩ කරන්නේ කොහොමද. ඒ නිසා තමන්ට කරන්න බැරි ප්‍රතිසංස්කරණ කරන්නේ නැතිව අධ්‍යාපනයට ඔහොම ඉන්න දෙන්න. ඔයාලට මේක කරන්න බෑ. ඒක මතක තියාගන්න. ඔයාලට කරන්න පුළුවන් වැඩ තෝරගෙන කරන්න

Search