හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද (28) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධකරුවකු වන පද්මසිරි “කෙහෙල්බද්දර පද්මේ” නැමැත්තා තමන්ට මරණීය තර්ජන එල්ල කල බවට අසත්‍යය පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රියන්ත ජයකොඩි මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ටද “කෙසෙල් බත්තර පත්මේ” නැමැත්තා යැයි කියමින් මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සැලසුම් කලේ ප්‍රියන්ත ජයකොඩි මහතා බවට චෝදනා එල්ල වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

පසුගිය ජූලි 06 වැනිදා දුරකථන මාර්ගයෙන් මෙම මරණ තර්ජන එල්ල කර තිබෙන බවත් කුමන හේතුවක් නිසා එවැන්නක් සිදුකළේද යන්න පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව ඉහත පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ප්‍රියන්ත ජයකොඩි මහතා රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු රාගම රෝහලට ඇතුළත් කර අත්අඩංගුවේ සිටියදී ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය

Search