සජිත් – ගම්මන්පිල හදිසි හමුවක් ස්වභාවික ගෑස් විදුලි බලාගාරයකට කියා ඩීසල් විදුලි බලාගාරයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරන් --උදය ගම්මන්පිල

සජිත් – ගම්මන්පිල හදිසි හමුවක් ස්වභාවික ගෑස් විදුලි බලාගාරයකට කියා ඩීසල් විදුලි බලාගාරයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරන් --උදය ගම්මන්පිල

මෙතෙක් කල් අපි අහල තිබුන ඉතිහාසයේ ලොකුම වංචාව මහ බැංකු බැඳුම්කර වංචාව. සහස්දනවි නමින් ස්වභාවික ගෑස් විදුලි බලාගාරයක් ලෙස හඳුන්වමින් මෙගාවොට් 300ක ඩීසල් විදුලි බලාගාරයක් ආරම්භ කරන්න ජනවාරි 03දා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරන් තියෙනවා යැයි බලශක්ති දූෂණ විරෝධී එකමුතුව ඊයේ (04 වැනිදා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුව එම සංවිධානයේ සභාපති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේද කීය.

බලශක්ති දූෂණ විරෝධී එකමුතුව විදිහට අපි සියලු‍ම දෙනාම විපක්ෂ නායකතුමා හමුවෙන්නට ආවා. ඒ ලක් ඉතිහාසයේ දැවැන්තම වංචාව වන සහස්දනවි වංචාව පිළිබඳව විපක්ෂ නායකතුමන් සහ බලශක්ති ආංශනික කාරක සභාවේ සභාපතිධූරය දරන එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමාත් ‍ දැනුවත් කිරීමටයි.

මෙය ලාභදායී ව්‍යාපෘතියක්, පුනර්ජනනීය බල ශක්තියට වඩා අඩු මුදලට මෙය කළ හැකි බව පෙන්වීමට සම්පූර්ණයෙන්ම වැරදි දත්ත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ යොදා තිබෙනවා. ඩීසල් ලීටර් එක මිල රුපියල් 286ක් වුණාට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඩීසල් ලීටරයක මිල රුපියල් 120 ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒවගේම මේ ගණනය කිරීම් සඳහා ඒ අය ඩොලරය සහ රුපියල අතර විනිමය අනුපාතය රුපියල් 195 යි කියලයි අරන් තියෙන්නේ. ඩොලර් එකක වටිනාකම නමුත් රුපියල් 300ක් වෙලා තියෙනවා. මේ නිසා මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ විදුලි ඒකකයක වියදම රුපියල් 20.15 ක් ලෙස සඳහන් වුවද ඇත්ත පිරිවැය රුපියල් 72.11 වෙනවා.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් කෝටි දෙලක්ෂ දහනම දාහක්. රුපියල් ටි්‍රලියන 2.9 ක්. මෙතරම් දැවැන්ත වංචාවක් පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් වෙද්දී ඩීසල් ලීටර්යක් රුපියල් 110ක් නෙමෙයි කියලා එකම ඇමැති කෙනෙක්වත් දැනගෙන හිටියේ නැද්ද? ඩොලරය දැන් රුපියල් 300ක් වෙනවා. 195 යි කියන්නේ වැරදියි කියලා එක ඇමැති කෙනෙක්වත් දැනගෙන හිටියේ නැද්ද? මේක නොදැන වුණු අමාත්‍ය මණ්ඩල රැවටීමක් නම් නොවයි. මහා දැවැන්ත වංචාවට සම්බන්ධ වෙන්න සමස්ත අමාත්‍ය මණ්ඩලයම සිතා මතා රැවටීමට ලක්වීමක් විදිහටයි අපි දකින්නේ.

මේ ගැන බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය භාරව සිටින මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා අප්‍රේල් මාසයේ තුන්වෙනිදා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට කියනවා ලිඛිතව දැනුම් දෙනවා මේ ඉලක්කම් අපි සඳහන් කරන ඉලක්කම් නෙමෙයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරන ඉලක්කම්. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා ඔබ වැරදි ඉලක්කම් ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හරහා අමාත්‍ය මණ්ඩලය නොමඟ යවා ඇත. එබැවින් නිවැරදි තත්ත්වය ගැන වහාම අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්න කියලා. අප්‍රේල් මාසය තුන්වෙනිදා මෙවැනි ලිපියක් තමන්ට ලැබුණත් මේ වංචනික බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා අප්‍රේල් මාසයේ 23 වෙනිදා කලින් ලබාගත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය පාවිච්චි කරමින් එහෙමත් නැත්නම් අවභාවිතා කරමින් සහස්දනවි ගිවිසුම අත්සන් කිරීමට යෙදෙනවා. ඒ නිසා මේ වංචාව පිළිබඳව අපි මෙතෙක් එළියේ නගපු හඬ පාර්ලිමේන්තුවට අරන් යන්න කියලා එසේ අරන් ගිහිල්ලා මේ වංචාව වහාම නැවැත්වීමට පියවර ගන්න කියලා විපක්ෂ නායකතුමන්ගෙන් හා බලශක්ති ආංශික කාරක සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

Search