නිල බලයෙන් හා දේශපලාන බලයෙන් හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර අරගල සමයේ හානියට පත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසර ගොඩනැඟිල්ලක් ඇතුළු දේපළවලට සිදුවූ හානි ලෙස රුපියල් ලක්ෂ 88කට අධික මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (06දා) පස්වරුවේ නියෝග කළාය.
ඊයේ (06දා) උදෑසන නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. එම නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී කැඳවිණි.
එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කරුණු දක්වමින් 2022.05.09 වැනිදා රට පුරා ඇති වූ ජනතා අරගලයේදී සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැඟිල්ලක් ඇතුළු දේපළවලට අරගලකරුවන් හානි සිදුකළ බව පෙන්වා දෙමින් වන්දි ඉල්ලා ඇති බවත් එකී දේපළ මහවැලි අධිකාරියට අයත් දේපළක් බවට හඳුනා ගැනීම නිසා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවත් කියා සිටියාය.
මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ මෙම සැකකරු සිය දේශපාලන බලය පෙන්වා හානිපූර්ණ කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ට බලපෑම් කර එකී හානිපූර්ණ වන්දි ලෙස රුපියල් අසූඅට ලක්ෂ පනස් දහසක මුදලක් අනුමත කරගෙන ඇති බව පැවසූ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය නිල බලය භාවිත කරමින් බලපෑම් කර වන්දි ලබාගැනීමෙන් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම මෙන්ම එම දේපළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවැති බැවින් මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවi පරිහරණය මගින් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවද පැවැසූවාය.
රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. ගුණතිලක නමැත්තා ජනාධිපති ලේකම් කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් අනුව එම සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොදු දේපළ විෂයෙහිලා ගැනෙන චෝදනා යටතේ විමර්ශන සිදුකරනා බැවින් සැකකරු ඇපමත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය පෙන්වා දුන්නාය.
සිය සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා නොවන බැවින් ඇපමත මුදාහැරීමේ බලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඇති බව පෙන්වා දුන් සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ සැකකරු ඇපමත මුදාහරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.