ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ගෙනඑන විශ්වාසභංග යෝජනාව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත අද (7) භාරදී තිබේ.
මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 15කින් සමන්විතය.
අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන බව අදාළ යෝජනාවන්හි දැක්වේ.
ඒ හේතුවෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේදැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ඔහු ධුරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් ගරු සභාවේ විශ්වාසය කඩව ඇති බව පවසමින් යෝජනා සම්මත කර ඇත.
අදාළ විශ්වාසභංග යෝජනාව
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය - III කොටස, 6 වන වගන්තියෙහි,
“මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවක දී ම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර, සෑම විටම යම් පොදු සම්පත් භාවිතය ද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංකභාවයකින් එ්කාග්රතාවකින් විය යුතුය.”
යනුවෙන් සඳහන් කර ඇතත් එය කඩ කර ඇති හෙයින්ද;
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ V වන කොටසේ 9 වගන්තියේ චර්යා රීතිවල සඳහන්,
(අ) හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම
(ඇ) ජනතාවගේ විශ්වාසය සහ ගෞරවයට යෝග්‍ය වන පරිදි කටයුතු කිරීම
(ඉ) තමන් වගකිව යුතු චර්යාව සහ කාර්යභාරය සම්බන්ධයෙන් වගකිව යුතු වීම
යන චර්යා රීති උල්ලංඝනය කර ඇති බව බැලූ බැල්මටම තහවුරු වන හෙයින්ද;
එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ව්‍යවස්ථාවට අනුකූලව මූලික යුතුකම් ඉටු කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අපොහාසත් වන බව නිරික්ෂණය වන හෙයින් ද;
එසේම,
01. පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්රණයේ මූලාරම්භයක් ලෙස සැලකෙන 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සමයේ එනම් 2018 නොවැම්බර් මාසයේදී 17 වන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති [17th Commander of the Security Force (East)] ලෙස ගරු අරුණ ජයසේකර මහතා පත් කළ හෙයින් ද, ඒ අනුව ඔහු ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස වැඩ බාරගත් හෙයින්ද;
02. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා වව්නතිව් පොලිස් මුරපොළේ දී ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිදුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින්ද;
03. පාස්කු ඉරිදා ප්‍රහාරයේ තීරණාත්මක සංසිද්ධියක් වන සයින්දමරුදු බොලිවේරියන් ග්‍රාමයේ සිදුවීම සිදුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින්ද;
04. අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කිහිප දෙනකුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති හෙයින්ද;
05. කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරුවූ හස්තුන් නැමැත්තාගේ බිරිඳ ලෙස හැඳින්වෙන සාරා ජස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරුදු එම ස්ථානයේ සිටි බවට සහ ඇය බෝම්බය පිපිරීමෙන් පසු ද ජීවතුන් අතර සිටි බවට සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා ප්‍රකාශ කර ඇති හෙයින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඇය මිය ගිය බවට කී සිද්ධිය සැක සහිත යැයි ප්‍රකාශ කර ඇති හෙයින්ද;
06. අදාල සයින්දමරුදු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර යුද හමුදාවේ එදින මෙහෙයුමට සහභාගී වූ එකල ගරු අරුණ ජයසේකර මහතාගේ යටතේ සිටි නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීම ආරම්භ කර ඇති හෙයින්ද,
07. මෙම සිද්ධියට අදාලව ගරු අරුණ ජයසේකර මහතා විසින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඔහුගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇති හෙයින්ද,
08. වව්නතිව් සහ සයින්දමරුදු සිදුවීම් දෙකටම අදාල විමර්ශනයේදී සාක්ෂි /කටඋත්තර යුද හමුදාවේ පිරිස්වලින් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගනිමින් සිටින හෙයින් ද;
09. ගරු අරුණ ජයසේකර මහතා පූර්ව මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිට, අංක 2410/08 දරන 2024-11-17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ජාතික ජන බලවේග රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව, අංක 2412/23 දරන 2024-11-28 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ හෙයින්ද; සහ ඇතැම් අවස්ථාවල වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බැවින් ද;
10. අදාල සිදුවීම් ගැන සාක්ෂි දෙනු ලබන යුද හමුදාවේ නිලධාරීන් විසින් සාක්ෂි ලබාදීමේදී එවකට ප්‍රදේශය භාර ප්‍රධානියා වූ ගරු අරුණ ජයසේකර මහතා වර්තමානයේ යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින බැවින් නිලධාරීන් සාක්ෂි ලබාදීමේදී ඔවුන් උසස්වීම්/මාරුවීම් සහ වෙනත් කටයුතුවලට බලපෑමක් ඇතිවේයැයි බියෙන් සාක්ෂි ලබාදීමේ මැලිකමක් දැක්වීමට ඉඩ ඇති බැවින්ද;
11. එවකට ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස සිටි ගරු අරුණ ජයසේකර මහතා යටතේ සිටින නිලධාරීන් විමර්ශනයට ලක්වෙමින් සිටින බැවින් ඔහු එම නිලධාරීන් සිටි යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හෙයින් විමර්ශන ගැන සැක සංකා මතුවීමට ඉඩ ඇති හෙයින්ද සහ ලබැඳියාවන් අතර ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින්ද;
12. පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදුන් රජයක ගරු අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස වගකිව යුතු තනතුරක් දැරුව ද මේ දක්වා පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට අපොහොසත් වී ඇති හෙයින්ද;
13. පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ගරු අරුණ ජයසේකර මහතා යුද හමුදාවේ ධූරය දරන සමයේ නිසි ක්‍රියාමාර්ග නොගත් පසුබිමක, වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම මත, ඒම විමර්ශනවලට යම් බලපෑමක් ඇතිවිය හැකි බවට කතෝලික සභාවට හැඟී යාම සහ එම පරීක්ෂණවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති හෙයින්ද;
14. පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම අභියෝගයක් බවත්, රජය රජය තුළම විමර්ශනයට ලක්කිරීම දුෂ්කර වී ඇති බවත්, රජය රජය විසින් පරීක්ෂාවට ලක් කළ යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා කාදිනල් හිමියන්ගේ පූජක දිවියට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති උත්සවයේදී කළ ප්‍රකාශය මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීමට තවමත් රාජ්‍ය යාන්ත්‍රණය තුළින්ම කුමන්ත්‍රණ සිදුවන බව හැඟෙන හෙයින්ද;
15. ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුණ ජයසේකර මහතා 2025-07-09 වන දින පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශයකට අනුව පස්කු ප්‍රහාරයේ විමර්ශනවල දී අනාවරණය වන පරිදි දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සුළු පිරිසක් සහ රජයේ නිලධාරීන් සුළු පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවට ප්‍රකාශ කිරීම මඟින් ඊට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව දැනුවත්භාවයක් හෝ අවබෝධයක් එතුමාට තිබෙන්නට ඇතැයි හැඟී යන බැවින් ද;
ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන අතර, එමඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේදැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් මේ ගරු සභාවේ විශ්වාසය කඩව ඇති බැවින් එතුමා ඒම ධූරයෙන් ඉවත් කළ යුතු බවට මෙම ගරු සභාව යෝජනා සම්මත කර සිටී.
අරුණ ජයසේකර ධුරයෙන් ඉවත්කරන්නැයි සජබයෙන් කරුණු 15ක්
