යෞවන සමාජ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

 යෞවන සමාජ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජවල උද්ගතව ඇති අර්බුදය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට හමුවේ ඉරිදා (අගෝ. 10) විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

තරුණ සේවා සභාව ගොඩනැඟූ අතීතය, ඊට බලපෑ හේතු, මේ දක්වා එම ආයතනය පවත්වාගෙන ආ ආකාරය මෙන් ම එමගින් රටේ තරුණ පරපුරට ඉටුවූ සේවය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කිරීමක් සිදුකරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

“යෞවන සමාජ බලමණ්ඩල” පිහිටුවීමේදී දේශපාලනික මැදිහත්වීම් සිදුවී ඇතැයි ගෙවුණු සතියේදී රනිල් වික්‍රමසිංහ හමුවූ හිටපු මැති-ඇමතිවරුන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, භික්ෂුන් වහන්සේ ඇතුළු විවිධ පාර්ශ්ව පෙන්වා දුන් බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ ජාතික තරුණ සේවා සභාවේ නිර්මාතෘවරයා මෙන් ම එහි අරමුණු හොඳින්ම දන්නා පුද්ගලයා වන බැවින් තවදුරටත් උපේක්ෂාවෙන් හා නිහඬව බලා නොසිටින ලෙසත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය රට හමුවේ ඉදිරිපත් කරන ලෙසත් එම පාර්ශ්ව ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා සිය කාර්ය මණ්ඩලය කැඳවා දැනුම් දී ඇත්තේ, හෙට එම ප්‍රකාශය සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ය

Search