ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කතානායකට

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කතානායකට

ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් විසින් අද (අගෝ. 11) කතානායකවරයාට භාර දෙනු ලබන බව සමගි ජන බලවේගය පවසයි.


අරුණ ජයසේකර පාස්කු ප්‍රහාරය සිදුවූ කාලයේදී නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපති ලෙස කටයුතු කළ බවත් ඔවුහු පවසති.

ප්‍රහාරයෙන් පසුව නැවත සිදුවුණු බෝම්බ පිපිරීම් පිළිබඳව වගකිවයුතු සාක්ෂි වසන් කිරීම සහ පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු දන්නා සාක්ෂිකරුවන් වසන් කිරීම සහ අතුරුදන් කිරීම පිළිබඳව මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට චෝදනා එල්ල වී තිබෙන බවත් සජබ කියයි.

ඔහු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැය දෙකක කටඋත්තරයක් ලබා දී තිබෙන බව කියයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් ඔහුට චෝදනා එල්ල වූ බවත් මෙවැනි තත්ත්වයක් තුළ අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් දැරීම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට බලපෑමක් එල්ල වීමට ඉඩ තිබෙන බව සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

ඒ අනුව, සමගි ජන බලවේගය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම පක්ෂ එකතු වී නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කළ බව සජබ කියයි

Search