තුන්වැනි මහලෙන් බිමට පැන පොලිස් කූඩුවෙන් පලායෑමේ තැත වරදී – අතපය කැඩිලා වලස් කටා රෝහලේ

තුන්වැනි මහලෙන් බිමට පැන පොලිස් කූඩුවෙන් පලායෑමේ තැත වරදී – අතපය කැඩිලා වලස් කටා රෝහලේ

හමුදා ඇඳුම් ඇඳ හමුදා රියකින් ඇවිත් පාතාලයට අවි දුන් බවට කළ ප්‍රකාශය ගැන ඉහළින්ම විමර්ශන

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ සිටි කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයකු බව කියන වලස් කටා නමැත්තා එම කොට්ඨාසයේ තුන්වැනි මහලෙන් බිමට පැන පලායෑමට උත්සාහ කිරීමේදී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට පෙරේදා (09දා) ඇතුළත් කර ඇත.

වැසිකිළි යෑමට අවශ්‍ය බව කියමින් වලස් කටා සිරමැදිරියෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔහුගේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරියාට පහරදී ඔහු තල්ලු කර දමා මෙම ගොඩනැඟිල්ලෙන් බිමට පැන තිබේ.

අඩි 27ක් උසින් යුත් මෙම ගොඩනැඟිල්ලේ තුන්වැනි මහලෙන් බිමට පැන ඇති ‘වලස් කටා’ මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයට වැටී ඇත. තුන්වැනි මහලෙන් වැටුණූ වලස් කටාගේ පාද දෙකෙත්, වම් අතෙත් අස්ථි බිඳීම් සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

වලස් කටා නමැති පාතාල ප්‍රබලයා රැඳවුම් නියෝග මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී මෙසේ එම ගොඩනැඟිල්ලෙන් බිමට පැන පලායෑමට උත්සාහ කර තිබේ.

කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස සැලකෙන ගම්පහ පස් දේවා ද රැඳවුම් නියෝග මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ සිට ඇත.

මෙම සිද්ධිය වන අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිව් දෙනකු මෙම පාතාල අපරාධකරුවන්ගේ ආරක්‍ෂාවට සිට ඇති බව පොලිසිය පවසයි.

පෙරේදා රාත්‍රී 9.00ට පමණ තමන්ට වැසිකිළියට යෑමට අවශ්‍ය බව දිගින් දිගටම පැවැසීම නිසා එක් පොලිස් නිලධාරියෙක් වලස් කටා සිර මැදිරියෙන් පිටතට ගෙන වැසිකිළියට රැගෙන යන අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරියාට පහර දී තල්ලු කර දමා තුන්වැනි මහලේ ජනේලයකින් බිමට පැන ඇත.

පොලිස් ආරංචි මාර්ග පැවැසුවේ මෙම අපරාධකරු තුන්වැනි මහලෙන් බිමට වැටී ජීවිතය අහිමි නොවීම පුදුමයට කරුණක් බවයි.

වලස් කටා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුට ජීවිත අවදානමක් නැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙහෙල්බද්දර පද්මේගේ ආයුධ ජාවාරම් පිළිබඳව ද වලස් කටා විසින් ඉතාම වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබිණි.

මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත යුද හමුදා කැබ් රථයක පැමිණ හමුදා සාමාජිකයන් බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු තමන්ට ටී 56 අවි ඇතුළු ආයුධ කිහිපයක් ලබාදුන් බවට වලස් කටා නමැති පාතාල ප්‍රබලයා සිදු කළ හෙළිදරව්ව පිළිබඳව පෑලියගොඩ අපරාධ කොට්ඨාශය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

ඉකුත් ජූලි මස 19 වැනිදා මෙම සිදුවීම වූ බවත් හමුදා නිල ඇඳුම් ඇඳගත් රියැදුරා සහ සිවිල් ඇඳුම් ඇඳගත් පුද්ගලයා යු. හ. අංකය සහිත නිල් පැහැති කැබ් රථයකින් පැමිණ මෙම ආයුධ තමන්ට භාරදුන් බවත් වලස් කටා හෙළි කර තිබේ.

මෙම ආයුධ කෙහෙල්බද්දර පද්මේ විසින් සිදු කරන මිනිස් ඝාතන සඳහා යොදා ගැනීමට කඩවත ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් භාරදුන් බවත් මෙම අපරාධකරු හෙළිකර ඇත.

එසේ ලබාදුන් ආයුධ අතර ටී 56 අවි 2ක්, මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ තොගයක් තිබූ බව ද මෙම සැකකරු ප්‍රකාශ කර තිබේ.

එහෙත් මෙම සිද්ධියේ සත්‍ය අසත්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැති අතර, යුද හමුදාවේ ද සහාය ඇතිව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යන බව ද පෑලියගොඩ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙම අවි ගනුදෙනුව සම්බන්ධයෙන් වලස් කටා කෙහෙල්බද්දර පද්මේ වෙත යැවූ හඬ පටයක් ද මේ වනවිට පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ

Search