ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වෙමින් සුවිශේෂ වාර්තාවක් සටහන් කරන්නට ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (12දා) සමත් වූයේය. ඒ පුරප්පාඩු වී තිබූ පොලිස්පති ධුරය සඳහා ඒ මහතාගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කරන ලදුව ඊයේ සවස එම සභාව ඊට අනුමැතිය දීම නිසාය.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස රැස්වූ ව්‍යවස්ථාදායක සභාව නව පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා සිය ධුරයේ රාජකාරි භාරගැනීමට නියමිතය.
පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක්වී පොලිස්පති ධුරය හිමිකරගත් මුල්ම නිලධාරියා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසගත වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ප්‍රියන්ත වීරසූරිය මහතා 1988 වර්ෂයේදී පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී පොලිස්පතිවරයා ලෙස 2025 වර්ෂයේදී පත්වීම සුවිශේෂී අවස්ථාවක් බව ද එම ආරංචි මාර්ග පවසයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කළ පසු එම ධුරය සඳහා ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය හිමිවූ අතර ඒ මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර තිබිණි.
පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනකුගේ නම් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබුණ ද ඒ සඳහා යොමුකර තිබුණේ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම පමණි.
කුඩා කාලයේදීම සිය පියා අහිමිවීම නිසා ආර්ථික අපහසුතාවන්ට මුහුණ දුන් ප්‍රියන්ත වීරසූරිය මහතා උසස් පෙළ අධ්‍යාපනය නතර කර 1988 වසරේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිසියට එක්වී තිබිණි. කුරුඳුවත්ත පොලිසියේ රාජකාරි කරද්දී කොළඹ විශ්වවිද්‍යාලයේ රාජකාරියක් සඳහා ගිය අවස්ථාවේ වීරසූරිය මහතාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ ආශාවක් ඇතිවිය.
පසුව වීරසූරිය මහතා බාහිර අයදුම්කරුවකු ලෙස උසස් පෙළ විභාගයට ඉදිරිපත්වී පළමු උත්සාහයෙන්ම ඉහළ සමාර්ථ්‍යයක් ලබාගත්තේය.
උසස් පෙළ ඉහළින්ම සමත්වීමෙන් පසු නීති පීඨයට ඇතුළත්වීමට සුදුසුකම් ලබාගත් ප්‍රියන්ත වීරසූරිය මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට ඇතුළුවීම සඳහා තරග විභාගයට ද ඉදිරිපත් වී ඇත.
එම තරග විභාගයෙන් සමත්වී 1992 වර්ෂයේදී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබාගැනීමට වීරසූරිය මහතා සමත් වී ඇත.
උපාධිය සම්පූර්ණ කර නීතිඥවරයකු වීමෙන් පසු සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා වූ තරග විභාගයට ද පෙනීසිටීමට ප්‍රියන්ත වීරසූරිය මහතාට හැකි විය.
එම තරග විභාගයෙන් ද ඉහළින් සමත්වන වීරසූරිය මහතා 1999 වර්ෂයේදී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස්වීම් ලබා ගත්තේය.
2007 වර්ෂයේදී පොලිස් අධිකාරි ලෙසත් 2012 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙසත් උසස්වීම් ලැබූ ප්‍රියන්ත වීරසූරිය මහතා 2016 වර්ෂයේදී නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලබාගත්තේය.
2020 වසරේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ වීරසූරිය මහතා 2024 වර්ෂයේදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වීම ලබාගත්තේය.
1969 වර්ෂයේ පෙබරවාරි 09 වැනිදා කළුතර දොඩංගොඩ ග්‍රාමයේ උපත ලැබූ ප්‍රියන්ත වීරසූරිය මහතා කළුතර නෑහින්න කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කළුතර ඥානෝදය විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ප්‍රියන්ත වීරසූරිය මහතා නීතිඥවරයකු ලෙස ද දිවුරුම් දී නීතිඥයකු ලෙස කටයුතු කර තිබේ.
ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය..නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය
