මන්ත්‍රීවරයකුගෙන් ලියුමක් අරගෙන යම් සේවයක් ලබාගැනීමේ අවස්ථාව මේ ආණ්ඩුවේ දේශපාලන ක්‍රමවේදය තුළ ජනතාවට ලැබී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා (12) මාතර, බෙරලපනාතර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“මහජන දිනයට ගිහිල්ලා තමාගේ ප්රශ්නය කියන්න, ඒක අහන්න බොහෝ ප්‍රදේශවල අද ආසන සංවිධායකයන් නෑ.
මැතිවරණයට පෙර ජනතාවට කියූ දේ කරනවා ද නැද්ද යන්න ආණ්ඩුව තවමත් කල්පනා කරනවා. ආණ්ඩුව එක පැත්තකින් තමන්ගේ දේශපාලන ආධිපත්‍යය පතුරවා ගන්න මර්දනය පාවිච්චි කරනවා. ආණ්ඩුව වැඩ කරන්නේ නැති වෙන කොට, ගමට එනකොට ගමේ මිනිස්සු තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන කොට, ඒවාට දෙන්න උත්තර ආණ්ඩුවට නැති වෙනකොට මර්දනය පටන් ගන්නවා.
ආණ්ඩුව මේ මාස කිහිපයේ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය කාරණා, ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන කාරණා දිහා බැලුවාම ඒවායින් මේ රටේ ජනතාවට සුබසිද්ධියක් වෙනවා ද නැද්ද යන ප්‍රශ්නාර්ථය අද වන විට අපි හැමෝටම තියෙනවා.
එක් පැත්තකින් යෞවන සමාජ ව්‍යාපාරයේ සිට ගමේ මරණාධාර සමිතිය දක්වා දේශපාලනීකරණය කරනවා. ආණ්ඩුව වැඩ කරන්නේ නැති වෙනකොට ගමේ මිනිස්සු නැඟි සිටින්න පටන් ගන්නවා. ඉල්ලීම් ඉල්ලනවා. අද මහජනතාවට මහජන දිනයකට යන්න තැනක් නෑ. තවත් පැත්තකින් ගමේ සංවර්ධනය, පන්සලේ පල්ලියේ සංවර්ධනය අඩාළ කරන්නත් මේ ආණ්ඩුව කටයුතු කරමින් යනවා. ආණ්ඩුව බදු ප්රතිපත්තියත්, ආර්ථික ප්රතිපත්තියත් ගැන තීන්දු තීරණ ගන්නේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට වාසි වන ආකාරයට. අසීමිත බදු බර නිසා ගමේ තේ කඩේ සිට නගරයේ ව්‍යාපාරිකයා දක්වා අද දැඩි අපහසුතාවට පත්වෙලා. මේ බදු ප්රතිපත්තියත් එක්ක ගමේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. කුඩා තේ වතු හිමියන් අසරණයි. අවසානයේ ව්‍යාපාරිකයා කොහොම හරි ජීවත් වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය වෙන්නේ දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා ආරක්ෂා කරන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම. අපි හැමදාම රට පැත්තේ හිටගත්තා.