එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) දිනයේදී දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ. පැය හයකට ආසන්න කාලයක් පුරා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇත්තේ, ඒ මහතා විසින් නීති විරෝධී ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වන දේපළ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
ඒ අනුව, ඊයේ (14) පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අබේවර්ධන මහතා, ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පස්වරු 3.30ට පමණ පිටව ගොස් තිබේ.
විමර්ශනයට අදාළව අවශ්‍ය ලිපි ලේඛන රැසක් වජිර අබේවර්ධන මහතා විසින් එදින ඉදිරිපත් කර නොතිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එම ලියකියවිලි ඉදිරිපත් කිරීම සඳහා ඔහුට ඉදිරි දිනයක් ලබා දීමට නියමිත බවත්, ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ, පොලිස් අධිකාරි සුජීව විජේසේන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ