ඇඟිලි සලකුණු අතිකාල සටන පරදී - තැපැල් වර්ජනය අවසන්

ඇඟිලි සලකුණු අතිකාල සටන පරදී - තැපැල් වර්ජනය අවසන්

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මේ මොහොතේ සිට අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.


පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වුණු මෙම අඛණ්ඩ වැඩවර්ජනය අද (24) අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත මෙලෙස අවසන් කර තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ඉදිරිපත් කළ මූලික කරුණු 19යෙන් 17කට මසක් ඇතුළත විසඳුම් සැලසුම් කිරීම සඳහා ඇමතිවරයා විසින් තැපැල්පතිට නියෝග ලබා දී ඇති බවය.

එමෙන්ම අනෙක් කරුණු 2 වන ඇඟිලි සලකුණු සහ අතිකාල දීමනා සමබන්ධයෙන් වූ ඉල්ලීමට කිසිඳු වෙනසක් සිදු කිරීමට ඇමතිවරයා කැමැත්ත පළ නොකළ බවත් ඒ සම්බන්ධයෙන් පවතින නීතිය අනුව ගත හැකි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේ දී සාකච්ඡා කරන බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා,

''රජයේ පොදු ප්‍රතිපත්තියක් වන ඇඟිලි සලකුණු පාවිච්චි නොකිරීමට අපේ කිසිඳු අදහසක් නෑ. හැමදාමත් වසර ගණනාවක් තිස්සේ ඇඟිලි සලකුණු පවත්වාගෙන ගියපු කාර්යාලවල ඒ ආකාරයෙන්ම ඇඟිලි සලකුණු පවත්වාගෙන යනවා. මේ මොහොතේ මධ්‍ය තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීම සහ ඊට සම්බන්ධ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ අනුව අපි ඉදිරි සති කිහිපය තුළ බලනවා රාජකාරි කිරීමේදී මෙහිදී ඇතිවන ගැටළු මොනවද කියන එක. ඒ ගැටළුත් එක්ක අපි ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. කෙසේ වෙතත් ඉදිරිපත් කරන ලද විසඳුම් යෝජනා ඉතා කඩිනමින් ක්‍රියාත්මක කර ගැනීමට අපි නැවතත් සාකච්ඡා කරමින් ඉදිරියට විමර්ශනය කරමින් කටයුතු කරනවා. මේ වැඩවර්ජනය තුළ මහජනතාවට කිසියම් අපහසුතාවයක් වුණා නම් ඒ අපහසුතාවය පිළිබඳව අපේ කණගාටුව සහ සමාව අපි අයදිනවා. කෙසේ වෙතත් මේ වැඩවර්ජනයේ මූලික අරමුණ වුණේ මේ මහජන ආයතනයක් වන තැපැල් දෙපාර්තමේන්තුව රැක ගැනීම. මහජනතාවගේ පැත්තෙන් කළ යුතු යුතුකමක් ඒක. ඒ යුතුකම අපි ඉටු කළා. එහිදී කිසියම් අපහසුතාවයක් හා හෝ හිත් රිදීමක් සිදු වුණා නම් ඒ සම්බන්ධයෙන් අපේ ගෞරවනීය ප්‍රණාමය ඒ වගේම අපේ කණගාටුව මේ අවස්ථාවේදී පුද කරනවා.''

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වුණු අතර එහිදී මෙම තීරණ ගෙන ඇති බව සඳහන් වේ.

විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා සිට දින 7ක් පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක කළේය.

වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වූ අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.

Search