රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකයන් හමුවේ පවසයි

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකයන් හමුවේ පවසයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නක් බව මෙහිදී සඳහන් කළ විපක්ෂ නායකතුමා එම අභියෝගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුනී.

ඒ සඳහා විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ සමඟ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට මෙම සාකච්ඡාව කැඳ වූ බව විපක්ෂ නායකතුමා අවධාරණය කළේය.

මෙම හමුවේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්න දෙකකට පිළිතුරු සෙවිය යුතු බව පෙන්වා දුනි.

පළමුවැන්න රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ යි. දෙවැන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එල්ල වී ඇති අභියෝගය ජයග්‍රහණය කිරීම යි. ඒ සඳහා සියලු‍ දේශපාලන පක්ෂ සිය දේශපාලන මත පසෙකලා එකමුතු විය යුතු බව හිටපු ජනාධිපති මෛත`ීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට සහභාගි වූ සියලු‍ම දේශපාලන පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ විපක්ෂයේ සමස්ත දේශපාලන පක්ෂ ඒ සඳහා එකමුතුව කටයුතු කිරීම වැදගත් බව යි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු කටයුත්ත මෙන්ම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂය එකමුතුව දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි කටයුතු සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටද පියවර ගත්තේය.

අද රැස්වූ සියලු‍ම පක්ෂ නායකයින් අගෝස්තු 27 වනදා යළිත් විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වීමට ද තීරණය කරන ලදී.

NEWS CLIP 🧧 https://youtu.be/2l1-OsepfJg?si=wEwjNCcbBjtjLK6A

Search