ගම්මන්පිල අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ – නීතිපති අභියාචනාධිකරණයට දන්වයි

ගම්මන්පිල අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ – නීතිපති අභියාචනාධිකරණයට දන්වයි

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට මේ වනවිට තීරණයක් ගෙන නොමැති බවත්, එලෙස අත්අඩංගුවට ගන්නේ ද නැතිද තීරණය කරනුයේ විමර්ශනවලින් අනතුරුව ඉදිරිපත් වන සාක්‍ෂි මත බවත් නීතිපතිවරයා ඊයේ (12දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් කර නොමැති බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුරොහන්ත අබේසූරිය හා ප්‍රියන්ත කේ. ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

2010 වසරේදී සිදුවූ ශාන්ත සමරවීර නමැත්තාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු නායකයකු මෙන්ම එම දිස්ත්‍රික්කයේ එම සංවිධානයේ බුද්ධි අංශ නායකයකු ලෙස ද කටයුතු කළ සෙල්වතම්බි මහේන්ද්‍රන් නමැත්තා ලබාදුන් ප්‍රකාශයක් මත හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා ඉකුත් ජූලි 28 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව ගම්මන්පිල මහතා සිය පෙත්සම මගින් අධිකරණයට කියා තිබිණි. එකී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමා පසුගිය අගෝස්තු 5 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විවේචනය කරමින් අදහස් දැක්වීම නිසා තමාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවින් එලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා උදය ගම්මන්පිල මහතා සිය නීතිඥවරුන් මගින් එම පෙත්සම ගොනුකර තිබිණි. එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්‍ෂා කරන බවත් ඔහුව ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවින් එය වළක්වන අතුරු තහනමක් ඉල්ලා සිටි බවත් විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.

එකී කරුණු දැක්වීම සිදු කළ අවස්ථාවේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉහත කරුණු දැක්වීම කළේය. එම පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 17 වැනිදා දක්වා කල් තැබිණි

Search