කථානායකවරයා ආණ්ඩුවට පක්ෂග්‍රාහීව, සභා නායක බිමල් රත්නායක මහතාගේ මුහුණ බලා තීන්දු තීරණ ප්‍රකාශයට පත්කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
“පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වුණ සියලුම දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව වර්තමාන ආණ්ඩුව සහ සමගි ජනබලවේගය ජනාධිපතිවරණ මැතිවරණයේදී ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහතා ජයග්‍රහණය කළාට පසුව පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ නැවත ආරම්භ වුණා. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අභියෝගාත්මක බව පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අභියෝගය එන්නේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගෙන් දැයි අපිට සැකයක් තිබෙනවා. ඒ වගේම රජය විසින් රජය පරීක්ෂාවට ලක්කළ යුතුයි කියන මතයත් එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ඒ අනුව පාස්කු බෝම්බ ප්‍රහාරයට යම්කිසි ආකාරයට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුව තුළ සිටිනවා දැයි කියන සැකය ඇතිවුණා.
පාස්කු ප්‍රහාරයේ වගකීමක් දරපු පුද්ගලයෙක් වර්තමාන ආණ්ඩුවෙත් වගකීමක් දැරීම ප්‍රශ්න සහගතයි. ඒ නිසා නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා එම ධුරයේ සිටීමෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ස්වාධීනව සිදුවන්නේ නැහැ. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා යටතේ සිටින නිලධාරීන් විසින් තමයි පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ සිදු කරන්නේ. ඒ වගේම නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් පවා ලබාදී තිබෙනවා. ඔහු ලබාදුන්න කට උත්තරය පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා යටතේ සිටින නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ඉදිරියට ගෙන යනවා නම් ඔහු එම තනතුරේ සිටීම එම පරික්ෂණවලට බාධාවක්. නමුත් ඒ සඳහා ආණ්ඩුව කටයුතු කළේ නැහැ.
සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ සියලුම විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා කොට නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළා. ඒ අනුව එම විශ්වාසභංගය කතානායකවරයා භාරගනු ලැබුවා. නමුත් දින කිහිපයකින් කතානායකවරයා එම විශ්වාසභංගය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙක් හේතුවෙන් ඔහු විධායකයට සම්බන්ධ නොවන නිසා ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට නොහැකි බව කතානායක ප්‍රකාශ කළා. ඒ වගේම විශ්වාසභංගය සම්බන්ධයෙන් කතානායකවරයා නීතිපති උපදෙස් ලබාගෙන තිබෙනවා. නීතිපතිවරයා ලබාදුන්න උපදෙස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අපි කතානායකවරයාට දැනුම් දුන්නා.
කෙසේ නමුත් එම විශ්වාසභංගය ගෙන ඒමට හැකි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.
කථානායකවරයාට කිසිසේත් පක්ෂග්‍රාහීව කටයුතු කළ නොහැකියි. ඒ වගේම කතානායකවරයාට සභා නායකගේ මුහුණ බලලා තීන්දු තීරණ ගන්න බෑ. ඒවගේම පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපිට විශාල අරගලයක් කරන්න සිදුවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරගෙන යෑමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිසිසේත් බාධාවක් එල්ල කරන්නේ නැහැ. රටට වග කියන විපක්ෂයක් ලෙස අපගේ කාර්යභාරයන් වගකීමක් සහිතව අපි පාර්ලිමේන්තුවේදී ඉටුකරනවා. නමුත් කතානායකවරයා ආණ්ඩුවේ දේශපාලන න්‍යායන්ට අනුව තමයි කටයුතු කරන්නේ. ඒ සඳහා ඉඩ දිය නොහැකියි. කථානායකවරයා ලෙස ඔහු පාර්ලිමේන්තුවේදී තීරණ ගත යුතුයි.