මුතුනගර් ගොවිබිම් ඉන්දීය සමාගමකට… අක්කර 800ක් දෙයි…සජිත්ගෙන් එළිදරව්වක්

මුතුනගර් ගොවිබිම් ඉන්දීය සමාගමකට… අක්කර 800ක් දෙයි…සජිත්ගෙන් එළිදරව්වක්

 

මුත්තුනගර් ජනතාව කාලයක් තිස්සේ භුක්ති වින්ද ඔවුන්ගේ ජීවිත කාලය පුරා රැකබලා ගත් ගොවිබිම් කලින් පැවැති රජයන් වගේම මේ රජයත් ඒ ආකාරයෙන්ම කරගෙන යන බව කනගාටුවෙන් වුවද සිහිපත් කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.


වරාය සතු ඉඩම් බව පවසමින් මේ ගොවි බිම්වල ජනතාවගේ ඉඩම් ඉන්දීය සමාගමකට ආයෝජන අවස්ථා සඳහා ලබා ගැනීමට එරෙහිව පෙළ ගැසී ඇති ජනතා විරෝධය පිළිබඳව සොයා බැලීමට මුත්තුනගර් ජනතාව හමුවේ විපක්ෂ නායකවරයා මෙලෙස අදහස් දක්වා සිටියේය. තම ගොවි බිම් ඩෝසර් කර ඉඩම් ලබාගත් සමාගම් වැටවල් ගසා තාවකාලිකව වාසස්ථාන ඉදිකර ඇති අන්දම ගොවි ජනතාව විසින් විපක්ෂ නායකවරයාට පෙන්වා දුන්නේය.

එම අවස්ථාවට එක්වී සිටි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉම්රාන් මහරුෆ් මහතා වගා කිරීමට ලබාදී ඇති ඉතිරි ඉඩම් වගා කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවසරය ලබාදී තිබියදී එම ඉඩම්වලට ඇතුළු වීම නිසා ගොවීන් 5 දෙනකුට දින 7ක් සිරබත් කෑමට සිදුවූ බවද කියා සිටියේය. විපක්ෂ නායකවරයා කළ ප්‍රශ්න කිරීම හමුවේ ගොවි ජනතාව කියා සිටියේ යල මහා දෙකන්නයම මුත්තුනගර් ප්‍රදේශයේ වායු හතරකින් ජලය ලබාගෙන වගාව සිදු කළ බවත් අක්කර 800ක් පමණ මෙසේ වගා කළ ඉඩම්ද සමාගමට පවරා දී ඇති බවය.

මෙලෙස ලබා දී ඇති ඉඩම්වලට නුදුරින් තවත් හිස් ඉඩම් තිබියදී වගා භූමියේ ඉඩම් සමාගමට පැවැරීම වගා භූමිය ඉලක්ක කොට සිදුවී ඇත්දැයි විපක්ෂනායකවරයා කළ විමසුමකට මෙම ජනතාව පැහැදිලි පිළිතුරක් ලබාදෙමින් එය එසේ සිදු කර ඇති බව කියා සිටියේය. මෙම විපක්ෂනායක චාරිකාවට සමගි ජන බලවේගයේ සේරුවිල ආසන සංවිධායක ඒ. රණසිංහ බණ්ඩාර, මොරවැව ප්‍රාදේශීය සභා මන්ත්‍රි පියල් ප්‍රදීප් තිලකරත්න යන මහත්වරුද එක්ව සිටියහ.

පිටත්ව යන මොහොතේදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා තමුන්නාන්සේලා ගෙන යන සටන බොහොම සාධාරණ එකක්. මේ සටන ප්‍රජාතන්ත්‍රවාදීව කරගෙන යන ලෙසත් කිසිවිටෙක ප්‍රචණ්ඩ ක්‍රියාවලට නොඑළඹෙන ලෙසත් මම වැඩි දුරටත් ඉල්ලා සිටිනවා. අපි පාර්ලිමේන්තුවේදී හා කමිටුවලදී මේ ගැන සාකච්ඡා කරනවා. මේ සම්බන්ධයෙන් අපි ඔබ සමඟ ඉන්නවා. කිසිවිටෙක මඟ හැර යන්නේ නෑ.

Search