ඇඟලුම් ඇතුළු අපනයන කර්මාන්ත රැසක් අනතුරේ – ඔක්. 1දා සිට SVAT අහෝසි කිරීමේ තීරණය කල් දමන්න – අපනයන කර්මාන්තකරුවෝ රජයෙන් ඉල්ලති

 ඇඟලුම් ඇතුළු අපනයන කර්මාන්ත රැසක් අනතුරේ – ඔක්. 1දා සිට SVAT අහෝසි කිරීමේ තීරණය කල් දමන්න – අපනයන කර්මාන්තකරුවෝ රජයෙන් ඉල්ලති

වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් නොකර සරල කරන ලද වැට් බදු ක්‍රමය (SVAT ක්‍රමය) 2025.10.01දා සිට අහෝසි කිරීමේ රජයේ තීරණය නිසා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන කර්මාන්ත රැසක් බරපතළ අනතුරුදායක තත්ත්වයකට පත්වනු ඇති බව ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තකරුවන්ගේ සංගම් රැසක නියෝජිතයෝ ඊයේ (25දා) උදේ මාධ්‍ය හමුවකදී රජයට අනතුරු ඇඟවූහ.


එම සංගම් සියල්ලේම නියෝජිතයින් රජයෙන් දැඩිව ඉල්ලා සිටියේ ඔක්තෝබර් 01 වැනිදා සිට SVAT ක්‍රමය අහෝසි කිරීමේ තීරණය කල්දමන ලෙසයි.

එසේ නොකළහොත් විධිමත් වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් නොමැති නිසා මේ තුළ වංචා හා දූෂණවලට ඉඩ සැලසෙනු ඇති බවත් එසේම අපනයනකරුවන්ට අතිරේක මූල්‍ය පිරිවැයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් පැවසේ.

ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සංසදය, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංවිධානය, අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංවිධානය යන ආයතනවල ප්‍රධානීන් ඊයේ උදේ කොළඹ කෝට්යාර්ඩ් බයි මැරියට් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ තොරතුරු අනාවරණය කෙරිණි.

තම සංගම් ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායමින් සියයට 70කට අධික ප්‍රමාණයක් ලබාදෙන අපනයන කර්මාන්ත නියෝජනය කරන බව පෙන්වා දුන් එම සංගම්වල නියෝජිතයෝ මේ ප්‍රශ්නය ගැන රජය තමන්ට නිසි සවන්දීමක් නොකළ බව කියති.

රජයේ තීරණය පරිදි තවත් දින පහකින් SVAT ක්‍රමය අහෝසි වන බවත් මේ නව ක්‍රමවේදය තුළ විශ්වාසය තැබිය හැකි වැටි බදු ප්‍රතිපූර්ණය කිරීමේ ක්‍රියාවලියක් අන්තර්ගතව නැති නිසා ඔක්තෝබර් 01 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණදෙනු ඇති බවත් ඒ නිසා මේ තීරණය ක්‍රියාත්මක කිරීම ගැන රජය ඉතා ඉක්මින් තීරණයක් ගත යුතු බවත් ඔවුහු කියා සිටිති.

මෙහිදී කතා කළ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා කීවේ දින 45ක් ලෙස නීතියේ සඳහන් කාලසීමාවට පෙර වැට් බදු ආපසු ගෙවීමට අදාළ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් එකඟතාව ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ආකාරයේ පෙරහුරුවක් සිදු නොවූ බවයි.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ඇඟලුම් ක්ෂේත්‍රයට, රජයේ SVAT ක්‍රමය අහෝසි කිරීමේ තීරණයත් සමග රු.කෝටි 1200ක පමණ මුදලක් වැට් බදු ලෙස රජයට ගෙවීමට සිදුවනු ඇති බව ඔහු කීවේය. මේ අයකරන වැට් බදු ආපසු ගෙවීම දින 45ක් තුළ සිදුකිරීමෙන් ද දහස් සංඛ්‍යාත අපනයනකරුවන්ගේ අපනයනවල බිඳවැටීමක් සිදුවිය හැකි බවට ද ඔහු අනතුර ඇඟවීය.

මේ නිසා ඩිජිටල් සේවාවන් සඳහා වැට්බදු අය කිරීමේදී සිදුකළ ආකාරයට වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක වනතුරු SVAT ක්‍රමය අහෝසි කිරීම ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු තවදුරටත් කීවේය

Search