තාජුඩීන්ගේ ඝාතනය තවදුරටත් නාට්‍ය පිටපතක් බවට පත් නොකර සත්‍ය රටට හෙළි කරන්න - සංජීව එදිරිමාන්න

තාජුඩීන්ගේ ඝාතනය තවදුරටත් නාට්‍ය පිටපතක් බවට පත් නොකර සත්‍ය රටට හෙළි කරන්න - සංජීව එදිරිමාන්න

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය තවදුරටත් නාට්‍ය පිටපතක් බවට පත් නොකර ඒ පිළිබඳව සාධාරණ විමර්ශනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.


මේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වූයේ 2015 යහපාලන ආණ්ඩුව සමයේ වුත් අද එය නාට්‍ය පිටපතක් බවට පත්කරගෙන තිබෙන බවටට හිටපු මන්ත්‍රී වරයා චෝදනා කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවට අද (01) එක්වෙමින් මේ බව සඳහන් කළ සංජීව එදිරිමාන්න මහතා තවදුරටත් කියා සිටියේ තාජුඩීන් ඝාතනය සම්බන්ධව තවදුරටත් විවිධ කතන්දර නිර්මාණය නොකර විධිමත් පරීක්‍ෂණයක් පවත්වා ඊට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවයි.

පසුගිය දිනෙක තාජුඩීන්ගේ මාමා යැයි කියන අයකු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළ බවත්, ඉන් අනතුරුව ඊයේ දිනයේදී පොලිස් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා යම් ප්‍රකාශයක් කළ බවත්, මෙම සිදුවීම්වල අවිනිශ්චිතතාවක් මතුව ඇති බවත් ඔහු අනාවරණය කළේය.

මෙම ඝාතන සිද්ධිය 2015 ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබූ බව පෙන්වා දෙන ඉදිරි මාන්නමහතා යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහා ඒ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර නාරාහේන්පිට පොලිසියේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා පවා අත්අඩංගුවට ගත් බව සිහිපත් කළේය.

නාරාහේන්පිට පොලිස්ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන්පසු ඇතැම් පාර්ශ්වව ඔවුන්ට අවශ්‍ය ප්‍රකාශ ඔහු මගින් නිකුත් කර ගැනීමට උත්සාහ දැරූ බවත් ඒ අනුව එදා එම පරීක්ෂණය නාට්‍ය පිටපතක් බවට පත්ව තිබූ බවත් පැවසීය.

මරණයක් කිසි විටෙකත් අභිරහසක් බවට පත්වියයුතු නැති බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා දැන්වත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා සත්‍ය රටට හෙළි කළ යුතු බව අවධාරණය කළේය.

Search