රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නිකුත් කරන තීරුබදු රහිත වාහන ආනයන අවසරපත් ඉදිරි අයවැයෙන් නැවත ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩක් නොමැති බව මුදල් අමාත්‍යාංශ නිලධාරියෙකු උපුටා දක්වමින් sunday times වාර්තා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති පරිදි, වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7ක විදේශ සංචිත ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස මෙම පහසුකම අත්හිටුවා තැබීමට සලකා බලමින් සිටින බවද එහිදි වාර්තා කර තිබේ.
මේ වනවිටත් නිලධාරීන් 23,000කට ආසන්න සංඛ්‍යාවකගේ වාහන අවසරපත් නිකුත් කිරීම අත්හිටුවා ඇත.
රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෛද්‍යවරුන්, කථිකාචාර්යවරුන් සහ අනෙකුත් මාණ්ඩලික වෘත්තිකයන්ගෙන් ඉල්ලීම් ලැබුණද, ලබන වසරේ අයවැය ඉදිරිපත් කිරීමට මාසයක් පමණ තිබියදී මෙම ක්‍රමය නැවත ආරම්භ කිරීමට කිසිදු අවධානයක් යොමු කර නොමැති බව මුදල් අමාත්‍යාංශ නිලධාරියා සඳහන් කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ වාහන ආනයනය හේතුවෙන් රටින් පිටවන විදේශ විනිමය ඉහළ යෑම සැලකිල්ලට ගනිමිනි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දත්ත අනුව, මේ වසරේ පළමු මාස අට තුළදී වාහන ආනයනය හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 918ක් රටින් පිටතට ගොස් ඇත.
අගෝස්තු මාසයේදී පමණක් පුද්ගලික සහ වාණිජ වාහන ආනයන බිල ඩොලර් මිලියන 249ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මාසික වාහන ආනයන සඳහා වූ ඉහළම වියදමයි.
මේ වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය ලිහිල් කිරීමෙන් පසු මේ වනවිට වාහන 37,115ක් ලියාපදිංචි කර ඇත.
කෙසේවෙතත් වාහන ආනයනය ලිහිල් කිරීම තුළින් රජය සිය ආදායම් ඉලක්ක ඉක්මවා ඇත. වාහන ආනයන මත බදු එකතු කිරීමෙන් රජයේ වාර්ෂික ඉලක්කය රුපියල් බිලියන 450ක් ලෙස තිබුණද, මේ වනවිටත් රජය රුපියල් බිලියන 470ක් උපයාගෙන තිබේ.
මූලාශ්‍රය- Sunday Times