වර්තමානයේ සිදුවන දේශපාලන එකතුව අවස්ථාවාදී දේශපාලන ඉලක්ක කේන්ද්‍ර කර ගත් එකක් නොව, ප්‍රතිපත්තිගරුකව රටේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් සැපයීම සඳහා වන එකමුතුවක් බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද (15) මහනුවර අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“ඕනෑම ලිට්මස් පරීක්ෂණයකට අපි සූදානම් යැයි පැවසූ විපක්ෂනායකවරයා එබැවින් පළාත් සභා මැතිවරණය පවත්වන්න” යැයිද ආණ්ඩුවට අභියෝග කළේය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන සහ දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින බැවින්, ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි.
විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේ, සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ගරුකව, තම පක්ෂයේ නායකත්වයෙන් ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා එකට වැඩ කිරීමට සූදානම් බවයි. මෙම දේශපාලන එකමුතුව තුළදී පක්ෂවල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
මැතිවරණයක් පැවැත්වීමට සූදානම් නම්, එහි දිනය ප්‍රකාශ කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටි සජිත් ප්‍රේමදාස මහතා, ඕනෑම මත විමසුමකට සහ ඕනෑම ලිට්මස් පරීක්ෂණයකට මුහුණ දීමට සමගි ජන බලවේගය සූදානම් බව යළිත් අවධාරණය කළේය