උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෝ 10,000 ක් – දරුවන් 188,714 කට වයසට ගැළපෙන බර නෑ

උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෝ 10,000 ක් – දරුවන් 188,714 කට වයසට ගැළපෙන බර නෑ

මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් දස දහසක් සහ වයසට ගැළපෙන බර නොදරන දරුවන් එක් ලක්ෂ අසූ අටදහස් හත්සිය දාහතර දෙනකු සිටින බව, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය නිකුත් කර ඇති නවතම පෝෂණ වාර්තාවේ සඳහන් වේ.


වයස අවුරුදු පහට අඩු දරුවන් එකොළොස් ලක්ෂ හැත්තෑ තුන් දහස් පන්සිය අසූ තුන් දෙනකු අතුරින් වයසට සරිලන බර නොදරන දරුවන් ප්‍රමාණය ලක්ෂ දෙකකට ආසන්නව ඇති බවත්, මධ්‍යස්ථ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව අනූදහස් හත්සිය අසූ නවදෙනකු බවද අදාළ වාර්තාව උපුටා දක්වමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

එම වාර්තාව අනුව, මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් අතුරින් නියමිත උස නොදරන දරුවන් එක්ලක්ෂ දහඅටදහස් හත්සිය පනස් අටදෙනකු ද උසට ගැළපෙන බර නොදරන දරුවන් එක්ලක්ෂ නවසිය තිස්අට දෙනකු ද සිටින බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

නුවරඑළිය, අනුරාධපුරය, මහනුවර, මඩකළපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, මාතර, මොනරාගල, කළුතර, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවල මෙම පෝෂණ අර්බුදවලින් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් සිටින බව අදාළ වාර්තාව මගින් හෙළිකර ඇතැයි ද වෛද්‍යවරයා පවසයි.

පවතින තත්ත්වය යටතේ හඳුනාගෙන ඇති මෙම මන්දපෝෂණ අර්බුදවලින් පෙළෙන දරුවන් සම්බන්ධයෙන් ප්‍රමුඛතා වැඩපිළිවෙළක් යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩසටහන් සම්පාදනයට රජය අවධානය යොමු කිරීම කාලෝචිත වනු ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි

---දිවයින--

Search