වෛද්‍ය හා කාර්ය මණ්ඩල හිඟයෙන් නිදහස් සෞඛ්‍ය සේවය අනතුරේ – විපක්‍ෂ නායක ජංගම සේවයේදී සජිත් ප්‍රේමදාස කියයි

වෛද්‍ය හා කාර්ය මණ්ඩල හිඟයෙන් නිදහස් සෞඛ්‍ය සේවය අනතුරේ – විපක්‍ෂ නායක ජංගම සේවයේදී සජිත් ප්‍රේමදාස කියයි

මේ වනවිට නිදහස් සෞඛ්‍ය සේවයේ උපකරණ, වෛද්‍ය හා කාර්ය මණ්ඩල හිඟයක් ඇති බවත් නවීන පන්නයේ උපකරණ නොමැතිව ජනතාවගේ ජීවිත අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පසුගියදා අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණින් කැබිතිගොල්ලෑව පොළ භූමියේ දී ‘ගමින් ගමට දොරින් දොරට’ විපක්ෂ නායක ජංගම සේවාවක් පවත්වන ලදී. එහි දී කැබිතිගොල්ලෑව මූලික රෝහලට අත්‍යාවශ්‍ය වී තිබූ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ රැසක හිඟයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනගන්නට ලැබුණි.

ඒ අනුව විපක්ෂයක් ලෙස මේ වෙනුවෙන් සමගි ජන බලවේගයට ලබාදිය හැකි උපරිම සාර්ථක විසඳුම ලබා දෙමින් රුපියල් ලක්ෂ 31ක් වටිනා රුධිර කාන්දුකරන යන්ත්‍රයක් සහ ලක්ෂ 6.5ක් වටිනා ආරෝ ප්ලාන්ට් යන්ත්‍රයක් ඇතුළු ලක්ෂ 39ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් කැබිතිගොල්ලෑව මූලික රෝහලේ දී සිදුවිය. එම පරිත්‍යාගයෙන් පසුව කැබිතිගොල්ලෑව නගරයේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

රුධිර කාන්දුකරන උපකරණවල පවා හිඟයක් ඇති බවත් මේ නිසා රෝගීන්ට පෞද්ගලික අංශය හරහා මුදල් ගෙවා මේවා සිදුකර ගැනීමට සිදුව ඇති බවත් නිදහස් සෞඛ්‍ය යනු මුදල් ගෙවා ලබාගත යුතු දෙයක් නොවන බවත් එය මෙරට සුභසාධක රාජ්‍යයේ වැදගත් අංගයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්පත් හිඟය නිසා සෞඛ්‍ය සේවාව බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බවත්, සමහර ප්‍රතිකාර සඳහා රෝහල්වල උපකරණ නොමැති නිසා මුදල් ගෙවා ඒවා ගන්න සිදුව ඇති බවත් තිබුණටත් වඩා හොඳට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරනවා කියූ වත්මන් රජය අද සෞඛ්‍ය සේවාව දුර්වල කර ඇති බවත් වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඩයලිසීස් කටයුතු සඳහා උපකරණ කඩෙන් ගේන්න සිදුව ඇති බවත් මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය දී නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය

Search