එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායකයන් මොන මතයක් දැරුවත් ගමේ ජනතාවගේ මතය මෙම පක්ෂ දෙක එකට එකතුවිය යුතු බව යැයි හිටපු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.
ඔහු එම අදහස් පළකළේ සියලු දේශපාලන පක්ෂ ඒකරාශි කර පොදු වැඩපිළිවෙළකට සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඇති කරන ලද බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුවය.
හරින් ප්‍රනාන්දු මහතා නව තනතුරේ වැඩ භාරගැනීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේ සිදුවිය. එම අවස්ථාවට එජාප මහ ලේකම් තලතා අතුකෝරාල, එජාප සභාපති වජිර අබේවර්ධන, එජාප උප ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂ ආධාරකරුවෝ රැසක් එක්වී සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීය.
මම දේශපාලනයෙන් ඉවත් වී වසරක් හිටියා. දේශපාලනයෙන් ඉවත්ව සිටියත් එක්සත් ජාතික පක්ෂය මට නව තනතුරක් ලබාදී තිබෙනවා. ඒ තනතුරේ වගකීම් මම භාරගෙන අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂය තමයි රට වැටිච්ච හැම වෙලාවේම රටේ ආර්ථිකය ගොඩගන්න කටයුතු කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට විශාල සේවයක් කළා. මේ ආණ්ඩුවට දැන් වමත් නැහැ. සමාජවාදයත් නැහැ. නමුත් එජාපයට එහෙම නැහැ. වැඩක් කරන්න දුන්නොත් ඒ දේ කරනවා. මේ රජය වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. වැඩක් කරන්න දන්නෙත් නැහැ.
රටට වාහන ගෙන්වන්න පුළුවන් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් බිලියන 6.5ක් එකතු කරලා දුන්න නිසයි. සල්ලි තිබ්බ නිසා වාහන ගෙනාවත් මේ අයට නම්බර් ප්ලේට් එක දීගන්න බැරිව ඉන්නවා. මේ ආණ්ඩුව තාමත් කරගෙන යන්නේ එදා එජාපය කරගෙන ගිය වැඩපිළිවෙළමයි. මට රැස්වීම් 1000ක් තියන්න වගකීම් පවරලා තියෙනවා. ඒ දේ මම කරනවා. රටේ තරුණ තරුණියන්ගේ දේශපාලන අදහස්වලට පිළිතුරු දීමට දබකසබැ වැඩසටහනක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සකස් කරමින් ඉන්නවා දෙසැම්බර් 10 වනවිට ඩිජිටල් පක්ෂයක් ලෙස එජාපය සංවර්ධනය කරන්නත් කටයුතු කරනවා