රාජ්‍ය නිලධාරීන් බය නැතිව වැඩ කරන්න .... සජබ ආණ්ඩුවක් යටතේ කිසිදු නීතිමය පියවරක් ගන්නේ නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

රාජ්‍ය නිලධාරීන් බය නැතිව වැඩ කරන්න .... සජබ ආණ්ඩුවක් යටතේ කිසිදු නීතිමය පියවරක් ගන්නේ නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

වත්මන් ආපදා තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් ගන්නා කිසිදු පියවරකට අනාගතයේදී ගොඩනගන සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ කිසිදු නීතිමය පියවරක් ඔවුන්ට එරෙහිව නොගන්නා බව පැහැදිලිව කිව යුතු බවත් එබැවින් බිය නොවී පීඩාවට පත් ජනතාවට මුදල් ලබාදීමට කටයුතු කරන්නැයි රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (09දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ආපදාවන්ට ලක්වූවන්ට පසු ආපදා තත්ත්වයේදී ලබාදිය යුතු හානි පූර්ණ වන්දි පිළිබඳව රජය ආකර්ෂනීය පැකේජයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන සමගි ජනබලවේගය සතුටු වෙනවා. කෙසේ නමුත් රජය ජනතාවට ලබාදෙන බව කියූ සියලු‍ දේවල් ලබාදෙන්නැයි සමගි ජනබලවේගය රජයට යෝජනා කරනවා. ඒ වගේම ආපදාවට ලක්වුණ ජනතාවට ආධාර මුදල් ලබාදෙන බව රජය ප්‍රකාශ කරන තිබෙනවා. නමුත් එම ආධාර මුදල් කොටස් වශයෙන් ලබාදීමට රජය සූදානම් වන බවක් වාර්තා වෙනවා. කෙසේ හෝ ආපදාවට ලක්වුණ ජනතාවට පොරොන්දු වුණ මුදල් ප්‍රමාණය රජය ලබාදෙන්න වහාම කටයුතු කළ යුතුයි. එය හොඳ කටයුත්තක්.ඒ වගේම පැවැති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ලබාදීමේදී රාජ්‍ය නිලධාරීන් ගන්නා කිසිදු පියවරකට අනාගතයේදී ගොඩනගන සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ කිසිදු නීතිමය පියවරක් ඔවුන් වෙනුවෙන් නොගන්නා බව පැහැදිලිව කිය යුතුයි. ඒ වගේම බිය නොවී පීඩාවට පත් ජනතාවට මුදල් ලබාදීමට කටයුතු කරන්නැයි රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය නිලධාරීන් බියවිය යුත්තේ ජනතාවට මුදල් ලබා නොදුන්නොත් පමණයි. ඒ වගේම පීඩාවට පත් ජනතාවට ලබාදීම සඳහා රජය වෙන් කළ මුදල් තවත් මාස කිහිපයකින් භාණ්ඩාරයට ගියොත් වැඩක් වෙන්නේ නැහැ.

ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙම ආපදා තත්ත්වයෙන් විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඔවුන්ට නැවත නැගී සිටින්න පොළී රහිත ණයක් ලබාදෙන ලෙස වාණිජ බැංකුවලින් ඉල්ලීමක් කරන්නැයි සමගි ජනබලවේගය රජයට යෝජනා කරනවා. රටේ කොඳු නාරටිය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යළි නැගිට්ටවීම රජයේ වගකීමක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් එක් ව්‍යාපාරයක් නැගී සිටියොත් තවත් ව්‍යාපාර ගණනාවකට එය බලපානවා. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කිරීමට එම පියවර ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක්.

ඒ වගේම ආපදා තත්ත්වයෙන් පසු ඉතා ඉක්මනින් මාර්ග දෙපස තිබෙන කුණු ඉවත් කර මාර්ග ශුද්ධ පවිත්‍ර කර, විෂබීජහරණය කොට කඩිනමින් වන්දි ලබාදීලා ජනතාවට ශක්තියක් වෙන්න රජය කටයුතු කළ යුතුයි. මාර්ගවල ගොඩගසා ඇති කුණු ඉවත් කරන්න තවමත් කිසිදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කුණු ගොඩ ගැසීම නිසා ගං වතුරෙන් යටවුණ ප්‍රදේශවල තිබෙන අතුරු මාර්ගවල ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබෙනවා. ඒ වගේම විපක්ෂයට චෝදනා නොකර ගං වතුර හේතුවෙන් මාර්ගවල ගොඩ ගැසී තිබෙන කුණු ක්‍රමවත්ව ඉවත් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම සමස්ථ රටම රක්ෂණාවරණය කළ වැඩසටහන් තිබුණා. ඒ බව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. ඒ අනුව ආපදාවකදී ජනතාවට ලබාදෙන වන්දි මුදල් ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල්වලින් ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒබව ජනාධිපතිවරයා පිළිගත්තා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ආණ්ඩුව ගත්තේ නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව පීඩාවට පත් ජනතාවට ලබාදෙන්න පොරොන්දු වුණ මුදල් ලබාදෙන්නේ බදු ගෙවන ජනතාවගේ මුදල්වලින්. ඒවා පැලවත්තේ අරමුදලින් ගෙවන්නේ නැහැ. ඒ වගේම ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට හෝ මාලිමාවේ සමාජිකයන්ගේ නායකත්වයෙන් නිර්මාණය කර තිබෙන ප්‍රජා සංවර්ධන කමිටු හෝ ආපදා කළමනාකරණ කමිටුවලට රජයෙන් ලබාදෙන මුදල් ගෙවන්න කිසිදු අයිතියක් නැහැ. එවැනි දෙයක් සිදුවුණොත් ඒ සඳහා අදාළ පියවර ගන්න සමගි ජනබලවේගය අනාගතයේදී කටයුතු කරනු ලබනවා. ඒ නිසා රජයෙන් ලැබෙන ආධාර මුදල් බය නැතුව බෙදන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන්, ග්‍රාම නිලධාරීවරුන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එම වන්දි රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කර ලබාදෙන්න. එවිට රජයේ නිලධාරීන්ට කිසිදු ප්‍රශ්නයක් අනාගතයේදී ඇති වෙන්නේ නැහැ

 

Search