ලිට්‍රෝ ගෑස් සැපයුම ඕමාන් සමාගමෙන් ගලවලා: පෙබරවාරිය වනවිට රට පුරා ගෑස් හිඟයක් – චාමර සම්පත් කියයි

ලිට්‍රෝ ගෑස් සැපයුම ඕමාන් සමාගමෙන් ගලවලා: පෙබරවාරිය වනවිට රට පුරා ගෑස් හිඟයක් – චාමර සම්පත් කියයි

වසර 10ක් පමණ අඛණ්ඩව මෙරට ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයූ ඕමාන් සමාගම ඉවත් කර ස්විට්සර්ලන්ත සමාගමකට සැපයුම ලබාදී ඇති බවත් මෙහි ගැටලු නිසා ලබන පෙබරවාරි වනවිට රටපුරා ගෑස් හිඟයක් ඇති වන බවටත් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා (න.ප්‍ර.ජා.පෙ.) ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමැති මණ්ඩලය විසින් ලබන 01 වැනිදා සිට වෙනත් සමාගමකට ගෑස් සැපයුම ලබාදීමට අනුමැතිය දී ඇති නමුත් මෙතෙක් ගිවිසුම් අත්සන් කර නැති බවද දැන් අදාළ සමාගම විවිධ කොන්දේසි දමමින් සිටින බවද මන්ත්‍රිවරයා කීය.

ආණ්ඩුව වගකීම් විරහිතව ක්‍රියා කළහොත් ලබන පෙබරවාරි වනවිට ගෑස් හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද හෙතෙම කීය. මේ අතර ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා ගෑස් හිඟයක් ඇති වන බව පවසමින් ජනතාව බිය ගැන්වීම පහත් නින්දිත ක්‍රියාවක් බවත් කිසිලෙසකත් රටේ ගෑස් හිඟයක් ඇති නොවන බවත් කීය.

ඕමාන් සමාගම වෙනුවට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ගෑස් සැපයුම වෙනත් සමාගමකට ලබාදුන් බවත් ඒ සඳහා මේ වනවිට ගිවිසුම් අත්සන් කර අවසන් බවත් තත්ත්ව පරීක්ෂාවන් ද සිදු කෙරෙන බවත් කී ඇමැතිවරයා අලුත් සමාගමේ පළමු ගෑස් පළමු නැව ජනවාරි 5 වැනිදා ලංකාවට පැමිණෙන බවත් කියාසිටියේය. ඕමාන් සමාගමට වඩා ගෑස් ඩොලර් ශත 15ක් අඩුවෙන් නව සමාගම සපයන බවද කිසිලෙසකත් රටේ ගෑස් හිඟයක් ඇති නොවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය

Search