ඇති වූ ව්‍යසනයෙන් රට ගොඩගැනීමට ස.ජ.බ. සම්පූර්ණ සහාය ආණ්ඩුවට ලබාදීමට සූදානම් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

ඇති වූ ව්‍යසනයෙන් රට ගොඩගැනීමට ස.ජ.බ. සම්පූර්ණ සහාය ආණ්ඩුවට ලබාදීමට සූදානම් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

විශ්වසනීය විගණකාධිපතිවරයෙක් පත්වුණහොත් පමණක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති ආධාර සමුළුව සඳහා ජාත්‍යන්තරය මුදල් ලබාදෙන්නේ යැයි සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

රටට බලපෑ ව්‍යසනයෙන් වැඩිම හානියක් සිදුවුණේ මහනුවර දිස්ත්‍රික්කයට. මෙම ව්‍යසන තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් පිටතත් සමගි ජන බලවේගයේ සම්පූර්ණ සහාය ආණ්ඩුවට ලබාදීමට සූදානම් වෙනවා. ව්‍යසනයෙන් පසු ආණ්ඩුව රටට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේදී යම් ප්‍රමාදයක් දකින්න ලැබෙනවා. මෙය රජයට සිදුකරන චෝදනාවක් නෙවෙයි. මේ පිළිබඳව රජය දැනුම්වත් කරන්නයි සමගි ජන බලවේගය කටයුතු කරන්නේ.

අනාථ කඳවුරු 95ක් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබෙනවා. එම කඳවුරුවල පවුල් 2084 ක් සිටිනවා. අනාථ කඳවුරු 6634ක් ජනතාව ජීවත් වෙනවා. මෙම පිරිස් රඳවා තිබෙන්නේ ආගමික ස්ථානවලයි. කෙසේ නමුත් මෙම ජනතාවට කඳවුරුවලින් ඉවත්වන ලෙස දන්වා තිබෙනවා. නමුත් එම ජනතාවට යන්න තැනැක් නැහැ. ඒ ජනතාවගේ නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා. නිවාස නැති ජනතාවට නිවාස ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන තෙක් තාවකාලික කූඩාරම් හෝ ලබාදීමට රජය කටයුතු කළ යුතුයි. එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා.

මහනුවර වැව රවුම, උඩවත්ත කැලය, අනියවත්ත, බහිරව කන්ද, හන්තාන පිළිබඳව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාවක් නැහැ. නමුත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සහ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සියලුම වාර්තාව අදාළ ස්ථානවලට ලබාදුන් බව පසුගිය කාලයේ ප්‍රකාශ කළා. නමුත් නිශ්චිත වශයෙන්ම මහනුවර නාය යෑමේ අවදානමක් තිබෙන ප්‍රදේශ පිළිබඳව තවම දැනුම් දී නැති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. ඒ වගේම මහනුවර දළදා මාලිගාවට පිටුපස තිබෙන උඩවත්ත කැලය අවදානම් නැති බවට වාර්තාවක් ලබාදී තිබෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. නමුත් අනෙකුත් ප්‍රදේශවල ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පර්යේෂණ කටයුතු සිදුකරන්නේ ව්‍යසයෙන් පසුව බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් මහනුවර සෑම ප්‍රදේශයක්ම නාය යන්නේ නැහැ. කෙසේ නමුත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ කාර්ය මණ්ඩලය වැඩි කොට ඉක්මනින් නාය යෑමේ අවදානමක් සහිත ප්‍රදේශවල තොරතුරු ගන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ව්‍යසනයෙන් විනාශ වුණ යටිතල පහසුකම් කඩිනමින් සකස් කරන්න මහනුවර දිස්ත්‍රික්කය ඇතුළු කන්ද උඩරට ප්‍රදේශයට විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.

Search