දිවයින පුරා රජයේ රෝහල් පද්ධතිය තුළ ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය ප්‍රධානතම නිර්වින්දන ඖෂධයක් වන ‘ප්රොපෆොල්’ (Propofol) හි උග්‍ර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි.
එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ වෛද්‍ය ක්ෂේත්රය තුළ ‘Drug of God’ ලෙස පවා විරුදාවලිය ලත් මෙම ඖෂධය, රෝහල් සහ වෛද්‍ය සැපයුම් අංශ සතුව පවතින්නේ ඉතා අවම තොග වශයෙන් බවයි.
ප්‍රධාන පෙළේ ශල්‍යකර්ම සඳහා බහුලවම භාවිත කරනු ලබන මෙම ඖෂධය කඩිනමින් රෝහල් පද්ධතියට සැපයීමට රජය අපොහොසත් වුවහොත්, ඉදිරි කාලසීමාව තුළ සැත්කම් පවත්වාගෙන යාම බරපතළ අර්බුදයකට ලක්වනු ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
"මෙම ඖෂධය වෙනුවට ආදේශක නිර්වින්දන ඖෂධ පවතින නමුත්, 'ප්රොපෆොල්' සතු කාර්යක්ෂමතාව සහ රෝගීන් ඒ සඳහා දක්වන හිතකර ප්‍රතිචාරය හේතුවෙන් වෛද්‍යවරුන් වැඩි වශයෙන් මෙම ඖෂධය කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා." යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මීට පෙර රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා ද ඉදිරියේදී රට තුළ උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවට රජයට අනතුරු ඇඟවීම් සිදුකර තිබුණි.
දැනට පවතින තොග සීමිත බැවින්, ශල්‍යකර්ම සඳහා බලා සිටින රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමකින් තොරව මෙම ඖෂධය කඩිනමින් ගෙන්වා බෙදාහැරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතු බව වෛද්‍ය අංශ අවධාරණය කරයි