6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුව ඇති අවුල්සහගත බව මුල්කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අගමැති හරිනි අමරසූරිය ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීම දින කිහිපයකින් කල් දැමීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
මෙම කල් දැමීම සඳහා හේතු කිහිපයක් බලපා ඇති බව වාර්තා වේ.
ඉන් ප්‍රධාන වී ඇත්තේ අනෙකුත් අධ්‍යාපන මොඩියුලවලද විවිධ අර්බුද පවතින බවට විපක්ෂය වෙත තොරතුරු වාර්තා වී තිබීමයි.
එම තොරතුරු ද විශ්වාසභංගයට ඇතුළත් කර එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කාලය ලබා ගැනීම සජබයේ සැලැස්ම වී තිබේ. මීට අමතරව විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ පාර්ශ්ව සමග මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය කාලය ලබා ගැනීම ද මේ සඳහා හේතු වී ඇත.
එමෙන්ම මේ අවස්ථාවේදී අගමැතිවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබාදුනහොත්, එය විවාදයට ගැනීම සඳහා ඉක්මන් දිනයක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවට වූ සැකය ද මෙම ප්‍රමාදයට බලපා තිබේ.
ඒ අනුව තවදුරටත් කාලය ගෙන අගමැතිවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබාදීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට මහජන අත්සන් ලබා ගැනීම ආරම්භ කරන බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පවතින ජනතා විරෝධය මෙමගින් පෙන්නුම් කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය