කතානාකගේ වංචා දුෂන රැසක් පාර්ලිමේන්තුවේ හි. නි. ලේකම් හෙලි කරයි..

කතානාකගේ වංචා දුෂන රැසක් පාර්ලිමේන්තුවේ හි. නි. ලේකම් හෙලි කරයි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තම නිල බලය අනිසි ලෙස භාවිතා කරමින් වංචා හා දූෂණ රැසක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. 

පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්වරයෙකු වන ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල මගින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන බරපතළ විෂමාචාර ක්‍රියා කිහිපයක් පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.

කථානායකවරයාට හිමි නිල වාහන දෙක වෙනුවට රථ වාහන තුනක් භාවිතා කිරීම සහ වෑන් රථයක් පෞද්ගලික පරිහරණයට යොදාගනිමින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම.

කථානායක ධූරයට අදාළ ඉන්ධන දීමනාවට අමතරව, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ද නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා ලබාගැනීම හරහා රුපියල් ලක්ෂ විස්සක පමණ (රු. 2,000,000/-) රජයේ මුදල් අවභාවිත කිරීම.

පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් කැමරා සහ උපකරණ තම පෞද්ගලික ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගැනීම සහ රජමල්වත්ත නිල නිවසට අමතරව කොළඹ 04, ලොරිස් පටුමඟ පිහිටි තවත් නිල නිවසක් අනීතිකව පරිහරණය කිරීම.

කථානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා නියමිත ගාස්තු ගෙවීමෙන් බැහැරව පාර්ලිමේන්තු ගිණුම මගින් දිවා ආහාර පහසුකම් ලබාගැනීම.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ සිවිල් ක්‍රියාකාරීන් ඉල්ලා සිටි තොරතුරු ලබාදීම බලහත්කාරයෙන් වැළැක්වීම.

පැමිණිලිකාර කුලරත්න මහතා පවසන්නේ, කථානායකවරයාගේ මෙම දූෂිත ක්‍රියාවන්ට එරෙහිව තමා වරින් වර කරුණු පෙන්වා දුන් බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස තමා කෙරෙහි වෛරී සහගතව කටයුතු කරමින්, නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත් කර තමාගේ වැඩ තහනම් කිරීමට කථානායකවරයා කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කරයි. මෙම විමර්ශන නිලධාරියා සඳහා රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රුපියල් 274,975/- කට අධික මුදලක් ගෙවීමට ද කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය කර ඇත.

මෙම දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 74 සිට 78 දක්වා වගන්ති ප්‍රකාරව තමාට 'තොරතුරු හෙළි කරන්නන්ගේ රැකවරණය' (Whistleblower Protection) ලබාදෙන ලෙසත් පැමිණිලිකරු අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.

මෙම පැමිණිල්ලේ පිටපත් නීතිපතිවරයාට, ජනාධිපති ලේකම්වරයාට සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත ද යොමු කර තිබේ

Search