කෙහෙළිය රඹුක්වැල්ල ගේ ඥාතියාට සහ සැකකාර ව්‍යාපාරිකයාට ඇප

කෙහෙළිය රඹුක්වැල්ල ගේ ඥාතියාට සහ සැකකාර ව්‍යාපාරිකයාට ඇප

අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු වන නිමල් සිසිර කුමාර සහ කෙහෙළිය රඹුක්වැල්ල ගේ ඥාතියකු වන බණ්ඩාර රඹුක්වැල්ල යන අය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළේ ය.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවී ය.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේ සැකකාර නිමල් සිසිර කුමාර නමැත්තා මහෙස්ත්‍රාත්වරයා හමුවේ පැයක පමණ කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දී ඇත.

 

මුදල් විශුද්ධීකරණ පනත යටතේ අල්ලස් කොමිසම චෝදනා ගොනු කරන්නේ කෙසේද? - ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල

 

නඩුව කැඳවූ අවස්ථාවේ දෙවන සැකකරු වන බණ්ඩාර රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකොරල මෙසේ පැවසී ය.

''තම සේවාදයකයාට එරෙහිව චෝදනා ගොනුකරලා තියෙන්නේ මුදල් විශුද්ධීකරණ පනත යටතේයි. අල්ලස් කොමිසමට බලය තියෙන්නේ අල්ලස් හෝ දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමට පමණයි. මීට අමතරව එහි 41 වගන්තිය යටතේ හැකියාව තියෙනවා පරිගණක අපරාධ, පොදු දේපළ, හා දණ්ඩ නීති සංග්‍රහයේ 41 වන පරිච්ඡේදයේ වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරන්න. මුදල් විශුද්ධිය කරන පනත යටතේ කටයුතු කරන්න පුළුවන් අල්ලස් දූෂණ හෝ තුටු පඬුරක් ගත් දෙයක් අනාවරණය වුණොත් පමණයි. ඒ අනුව 112 වගන්තිය අනුව චෝදනා ගොනු කරන්නත් පුළුවන්. අල්ලස් ගැනීම සම්බන්ධයෙන් හෝ දූෂණ සම්බන්ධයෙන් තියෙන චෝදනාවලට අමතරව තමයි මුදල් විශුද්ධිකරන පනත යටතේ නඩු කියන්න පුළුවන්.

අල්ලස් හෝ දූෂණයවලින් හොයන සල්ලි කොහේ හරි හංගන්න හැදුවොත් ඒ සම්බන්ධයෙන් චෝදනා දාන්න පුළුවන්. ඊට අමතරව චෝදනා දාලා වරදකරු කරන්න පුළුවන්. එහෙම නැතිව අල්ලස් දූෂණ චෝදනා නැතිව එක පාරටම මුදල් විශූද්ධිය කරන පනත යටතේ චෝදනා ගොනු කරන්න අල්ලස් කොමිසමට හැකියාවක් නැහැ. නමුත් එක බී වාර්තාවක තියෙන්නේ මුදල් විශුද්ධියකරන පනත යටතේ පමණයි. 2013 අංක 9 දරණ අල්ලස් පනත යටතේ කිසිදු චෝදනාවක් එහි දාලා නෑ. ඒ නිසා එම බී වාර්තාව නීති විරෝධීයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (ආ) වගන්තිය අනුව මෙවැනි බී වාර්තාවක් ගොනු කරන්න අල්ලස් කොමිසමට බලයක් නැහැ. ඒ නිසා තම සේවාදායකයා ඇතුළු සැකකරුවන් තිදෙනාටම නිදහස හිමි විය යුතුව තිබෙනවා යි''

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කර ඇත.

ඉන් අනතුරුව සැකකරුවන් ගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන් ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් නියෝග කර ඇත.

 

උපුටා ගැනීම [newstube.lk] 

Search