හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී, ස්ථාපිත අන්‍යෝන්‍ය නීති සහයෝගීතා ප්‍රතිපාදන (Mutual Legal Assistance) භාවිත කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ නීති කණ්ඩායම අභියෝග කර සිටියි.
මෙමගින් අදාළ විමර්ශනවල පවතින සර්වසම්පූර්ණභාවය පිළිබඳව ඔවුන් ප්‍රශ්න මතු කරයි.
හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අපරාධ නඩු විධිවිධාන යටතේ විදේශීය රටවලින් සාක්ෂි ලබාගැනීම සඳහා පැහැදිලි යාන්ත්‍රණයක් සපයන අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතා පනත 13 වැනි වගන්තිය නීතිපති කාර්යාලය විසින් මගහැර ඇති බවට කරුණු දැක්වීමට නීතිඥයන් සූදානම් වන බවයි.
මෙම ප්රතිපාදනය මගින් ශ්‍රී ලංකා බලධාරීන්ට පහත සඳහන් දෑ සඳහා විදේශීය අධිකරණ, නඩු පවරන බලධාරීන් හෝ පරිපාලන ආයතනවල සහය පැතීමට අවසර ලැබේ.
එසේම, විදේශීය අධිකරණ බල ප්‍රදේශවලින් සාක්ෂි ලබාගැනීම හා ලේඛන සහ සංචාරක වාර්තා ලබාගැනීම සදහා, නීති ප්‍රතිපාදන ඇත.
නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරය පිළිබඳ ගැටලු පවතී නම්, අසම්පූර්ණ දේශීය සාක්ෂි මත යැපෙනවා වෙනුවට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ බලධාරීන්ගෙන් නිල වශයෙන් සාක්ෂි ඉල්ලා සිටිය හැකිව තිබූ බවයි. එසේ නොකොට විශ්ව විද්‍යාලයෙන් තොරතුරු විමසීම පලදායක නොවනබව හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් පවසති.
පවතින නීතිමය මාර්ග උපරිමයෙන් භාවිතා නොකර ගොඩනගන ඕනෑම නඩුවක විශ්වසනීයත්වය මෙමගින් පළුදු වන බවට වික්‍රමසිංහ ගේ පාර්ශ්වය තර්ක කරයි.
මෙම මතභේදාත්මක තත්ත්වයත් සමඟ ඉහළ පෙළේ දේශපාලන නඩුවලදී පැමිණිල්ල මෙහෙයවන ආකාරය පිළිබඳව මහජන අවධානය දැඩි වී තිබේ.
නඩු පැවරීමේ ක්‍රියාවලියේ පවතින කාර්ය පටිපාටික අඩුපාඩු අනාවරණය කිරීම හා ජාත්‍යන්තරව පිළිගත් සහයෝගීතා රාමු නොසලකා හරින විමර්ශනයක පවතින අපක්ෂපාතීත්වය සහ විනිවිදභාවය ප්‍රශ්න කිරීමට වික්‍රමසිංහ පාර්ශවය ලෑහැස්ති වන බව, අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම නඩු කටයුතු ඉදිරියට යත්ම, නීතිපතිවරයා මෙම ප්‍රතිපාදන මගහැරියේ හිතාමතාද නැතහොත් අතපසුවීමකින්ද යන කරුණ නඩුවේ තීන්දුවට මෙන්ම අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳ පොදු මතයටද තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.