තමන්ට ජීවිත තර්ජනයක් ඇති බවට යම් නීතිඥවරයෙක්ට හැඟෙන්නේ නම් මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා ආරක්ෂාව ලබාගත හැකි බව ජාතික ඒකාබද්ධ හා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකින බව ද ඔහු කීය.
අදාළ ඝාතනය සිදු කළ පිරිසට සමාව නොදෙන බවත් ඔවුන්ට නීතියෙන් බේරීමට ඉඩ නොදෙන බවත් හර්ෂණ නානායක්කාර අවධාරණය කළේය.
කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් සමස්ත නීතිඥවරුන්ට ජීවිත තර්ජන එල්ලවී නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.
එය විපක්ෂය ඇතුළු කණ්ඩායම් විසින් නිර්මාණය කළ සටන් පාඨයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11ක්
මෙරට තුළ සිවිල් සහ අපරාධ නඩු ලක්ෂ 11ක් පමණ මේ වනවිට අධිකරණ පද්ධතිය තුළ පවතින බව අමාත්‍යවරයා පැවසීය.
මීට ප්‍රධානතම හේතුව මෙහි සිටින කාර්ය මණ්ඩලය හිඟය වන අතර එය මාර්තු හෝ අප්‍රේල් වනවිට අවසන් කරගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හොරුන් සිරගත කිරීම අධිකරණ අමාත්‍යංශයේ කාර්යය නොවන බවත් එය විධිමත් ආකාරයෙන් පොලීස් දෙපාර්තමේන්තුව සහ අධිකරණය අතර සිදු කළ යුතු බවත් හර්ෂණ නානායක්කාර පෙන්වා දෙයි.
මෙම නඩු විභාග කිරීම වේගවත් කිරීමට වත්මන් අගවිනිසුරුවරයා විසින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර තිබේ.
ඒ අනුව නව අධිකරණ කිහිපයක් පිහිටුවීමට නියමිත බවත් අලුත්කඩය අධිකරණ සංකීර්ණය තුළ තවත් උසාවි පහක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති බවත් විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේය.
නඩු විභාග කිරීම ඩිජිටල්කරණයට ලක් කිරීම හේතුවෙන් වියදම් රැසක් අඩුවී ඇති බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර අධිකරණ ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව පැවැති ලෝහ වර්ග වෙන්දේසි කිරීමෙන් රුපියල් මිලියන 952ක ලාභයක් උපයා තිබේ.