සුරේෂ් සලේගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සුරේෂ් සලේගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට ගෙන පැය 72ක රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේෂ් සලේ තවදුරටත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැදවුම් නියෝග ලබාගෙන ති‌බේ.


සුරේෂ් සලේ පසුගිය 25වැනිදා පෙරවරුවේ පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ චෝදනා 05කට !

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන් ගේ පෙර ක්‍රියාකාරකම් අනාවරණය වීම වැළැක්වීම ඇතුළු චෝදනා පහක් යටතේ බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේය.

යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ සාමාජිකයකු වෙත සැක කටයුතු මුස්ලිම් තරුණයන් හතර දෙනකු යොමු කර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිළිබඳ සංවේදී තොරතුරු රැස්කිරීමට සැලැස්වීම, පාස්කු ප්‍රහාරයෙන් පසු එම ප්‍රහාරයේ ප්‍රහාරකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් තිබූ අවස්ථාවේ ඉතා සුක්ෂම ලෙස අනාවරණය වීම වැළැක්වීම සඳහා අවහිර කිරීමට සෘජු හෝ වක්‍රාකාරව ක්‍රියා කිරීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට හේතු විණි යැයි පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මීට අමතරව, පාස්තු ප්‍රහාරකයන්ගේ ඥාතින් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් විසින් බෝම්බ පුපුරවා ගත් කල්මුණේ සයින්දමරුදු බොලිවේරියන් ගම්මානයේ පිහිටි නිවෙස තුළදී මහේන්ද්‍රන් පුලස්ථනී හෙවත් සාරාජස්මින් නමැත්තිය එම පිපිරීමේදී මියගිය බවට ඒත්තු ගැන්වීමට සෘජුවම දායක වීම, එම තැනැත්තිය පිළිබඳව කරුණු වසන් කරවීම, පාස්තු ප්‍රහාරකයන්ගේ මෙහෙයුම්කරුවන් අනාවරණය වීම වැළැක්වීමට කටයුතු කිරීමෙන් පාස්කු බෝම්බ මාලාවට සෘජුව හෝ වක්‍රාසාරයෙන් ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා ද විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතු කාරණා බව නිළධාරියා කීය.

මිට ඉහතදී ද සුරේෂ් සලේ වෙත මෙම චෝදනා එල්ලවී තිබු අතර ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබිණ.

සුරේෂ් සලේ යනු කවුද?

මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ 1987 මාර්තු 16 වන දින ශ්‍රී ලංකා හමුදාවට බැඳුණු අතර ඔහුගේ මූලික හමුදා පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු පාබල හා සංඥා රෙජිමේන්තුවල සේවය කළේ ය.

පසුව "භාෂා කිහිපයක් පිළිබඳ දැනුම සහ ඔහුගේ කාර්ය සාධනයේ කුසලතා හේතුවෙන්", ඔහු 1993 වසරේදී හමුදා බුද්ධි අංශයට තෝරා ගැනිණි.

සුරේෂ් සලේ 2006 සිට 2009 දක්වා පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත.

නැවත පැමිණීමෙන් පසු, ඔහු 2012 ඔක්තෝබර් මාසයේදී හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත් කරන තෙක් ආරක්ෂක අමාත්‍යංශයේ විදේශ බුද්ධි සම්බන්ධීකාරක ලෙස සේවය කළේ ය.

පසුව, ඔහු 2016 සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස සේවය කළේ ය.

ඉන්පසුව, 2019 ජනවාරි සිට එම නොවැම්බර් දක්වා ඔහු දිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජාතික ආරක්ෂක අධ්‍යයන එන්ෆීල්ඩ් පාඨමාලාව හැදෑරීමට ඉන්දියාවට ගොස් සිටියේය.

2019 දෙසැම්බර් මාසයේ සිට ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේ ය.

2024 වර්ෂයේ අගදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ධූරයෙන් ඉවත් විය.

අත්අඩංගුවට පත්වන මොහොත වන විට ඔහු මිලින්ද මොරගොඩ ගේ ' ෆාත්ෆයින්ඩර්' ආයතනයේ විධායක නිලධාරියකු ලෙස සේවය කළේය.

 

 

[theleader.lk] 

Search