ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය තවදුරටත් දරුණු අතට පත් වුවහොත් මෙරටට ගෑස් මිලදී ගැනීමේ ගැටලුවක් මතුවිය හැකි බව ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියා සිටිති.
ඒ අනුව ගෑස් මිල ඉහළ යාමේ අවධානමක් ද මතුවී ඇතැයි එම සමාගම් ප්‍රකාශකයන් සඳහන් කරති.
ඒ අනුව ඇතිවන තත්ත්වයන්වලට අනුව විකල්ප ක්‍රමවේද හරහා මෙරටට අවශ්‍ය ගෑස් ඇණවුම් කිරීමට අවධානය යොමුකර ඇතැයි ද ඔවුහු පවසති.
මේ වන විට ලාෆ් සමාගම ඇණවුම් කර ගෑස් තොග මෙරටට පැමිණ ඇතැයි ද ඒවා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි ද ලාෆ් සමාගම කියා සිටී.
කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිට්රෝ හා ලාෆ් ගෑස්වල හිඟයක් පවතින බවද වාර්තා වේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළට
මැදපෙරදිග ආතතීන්ට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළවල ගෑස් මිල තියුණු ලෙස ඉහළ ගොස් තිබේ.
එක්සත් රාජධානියේ, අප්‍රේල් මාසයේදී බෙදා හැරීම සඳහා වන ස්වාභාවික ගෑස් මිල 42% කින් ඉහළ ගොස් ඇත.
කටාර් යනු ද්‍රව ස්වාභාවික ගෑස් අපනයනය කරන ප්‍රධාන රටක් වන අතර ඔවුන්ගේ දායකත්වය ගෝලීය සැපයුම්වලින් පහෙන් එකක් පමණ වේ - මෙයින් වැඩි ප්‍රමාණයක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා මුහුදෙන් ප්‍රවාහනය කෙරේ.
කටාර් රාජ්‍යය ද්‍රව ස්වභාවික ගෑස් (LNG) නිෂ්පාදනය නවතා දමයි
ඉරානයෙන් තම මධ්‍යස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පසු ද්‍රව ස්වභාවික ගෑස් (LNG) නිෂ්පාදනය නතර කළ බව කටාර්හි රජයට අයත් බලශක්ති සමාගමක් වන කටාර් එනර්ජි (QatarEnergy) සමාගම පවසයි.
ප්‍රහාරයට ලක් වූ මධ්‍යස්ථාන වන්නේ වෙරළබඩ ගෑස් සැකසුම් මධ්‍යස්ථානයක් වන රාස් ලෆාන් සහ කටාර්හි ස්වාභාවික ගෑස් නිෂ්පාදනය සඳහා තවත් ප්‍රධාන ස්ථානයක් වන මෙසායිඩ්.
ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව , රුසියාව හා කටාර් රාජ්‍යය ලොව ප්‍රමුඛතම ද්‍රව ස්වාභාවික ගෑස් නිෂ්පාදනය කරන රටවල් වේ.
[theleader.lk]