ගෑස් වෙළඳපොලේ අයිතිය ධම්මික පෙරේරාට පැවරීමේ ක්‍රියාවලියක් ! - වීරවංශ හෙළිකරයි

ගෑස් වෙළඳපොලේ අයිතිය ධම්මික පෙරේරාට පැවරීමේ ක්‍රියාවලියක් ! - වීරවංශ හෙළිකරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා තකහනියේම පාර්ලිමේන්තුවට ගොස් ඉරානය මුහුණපා ඇති ඛේදවාචකය ගැන

වචනයක්වත් නොකියා, ලංකාවට ඉදිරියේදී බලපාන්නට නියමිත යැයි පැවසෙන බලශක්ති අර්බුදයක් ගැන කියමින් “රට බය කරන අතරේ” ‍ශ්‍රී ලංකාව නැමැති මේ “පුණ්‍ය භූමිය හුණ්ඩුවකට” උපමා කරමින් කතාවක් කළේ, “ආණ්ඩුවේ හුණ්ඩුව” ඇතුලේ ධම්මික පෙරේරා නැමැති සටකපට ව්‍යාපාරිකයාගේ “ගුණ්ඩුව” සඟවමින් රට සහ ජනතාව මුලා කරමින් ගෑස් වෙළඳාමේ අයිතිය ධම්මික පෙරේරාගේ අධ්‍යක්ෂ ධූරයෙන් බලගැන්වුණු “ලාෆ්ස් සමාගමට” ලබා දීමට බව විමල් වීරවංශ කියා සිටියි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ  අද (05) දහවල් සිය විශේෂ දේශනයකදී චෝදනා කළේ, ජනාධිපතිවරයා රට "හුණ්ඩුවක්" ලෙස හැඳින්වීම ධම්මික පෙරේරා ගේ "ගුණ්ඩුව" සාධාරණීකරණය කිරීමේ උපක්‍රමයක් බවයි. මෙම චෝදනාව මඟින් රජය ගෑස් වෙළඳපොලේ අයිතිය "ලාෆ්ස්" සමාගමට පැවරීමේ ක්‍රියාවලියකට සම්බන්ධ බවට ඔහු තදින් චෝදනා කළේය.

විමල් වීරවංශ සිය දේශනයේදී පෙන්වා දුන්නේ, රජයේ ලිට්‍රෝ ගෑස් සමාගමට තරඟකාරී වූ ලාෆ්ස් සමාගමට හම්බන්තොට ගෑස් ගබඩා සංකීර්ණය පැවරීම සඳහා ජනාධිපතිවරයා සහ රජය ක්‍රියාත්මක වන බවයි. පෙර ජනාධිපතිවරුන් දෙදෙනකු මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළ ඔහු, වත්මන් රජය එය ලබා දීමට කටයුතු කළේ ධම්මික පෙරේරාගේ අධ්‍යක්ෂකත්වයෙන් යුතු ලාෆ්ස් සමාගමට හිතවත්කම් නිසා බවට චෝදනා කළේය.


"ධම්මික පෙරේරාගේ 'ගුණ්ඩුව' සාධාරණීකරණය කරගන්න ජනාධිපති තකහනියක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා 'ලංකාවට හුණ්ඩුවක්' කියලා කියනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න අපේ කට්ටියත් 'හුණ්ඩුව' අල්ලගන්නවා. ඒ හුණ්ඩුවට යටින් ධම්මික පෙරේරාගේ ගුණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ," යැයි ඔහු පැවසීය.


මෙම ක්‍රියාවලියේදී ගෑස් සැපයුම් ටෙන්ඩර් නුසුදුසු සමාගමකට පැවරීම මඟින් කෘත්‍රිම ගෑස් අර්බුදයක් නිර්මාණය කර ඇති බවටද වීරවංශ චෝදනා කළේය. ඕමාන් සමාගමේ ගෑස් සැපයුම් කඩාකප්පල් කිරීම සහ එය අමෙරිකානු සමාගමකට පැවරීම මඟින් දේශීය වෙළඳපොලේ ගෑස් හිඟයක් ඇති කළ බව ඔහු පැවසිය. මේ හරහා ලාෆ්ස් සමාගමට දේශීය වෙළඳපොලට ගෑස් බෙදාහැරීමේ අවසරය ලබා ගැනීමේ උපක්‍රමයක් ක්‍රියාත්මක වන බවටද ඔහු චෝදනා කළේය.

දේශනයේදී රටේ ආර්ථික අභියෝග, ජාත්‍යන්තර ගැටුම් සහ ජනාධිපතිවරයාගේ අඩු ජනවරම පිළිබඳවද සඳහන් කළ විමල් වීරවංශ, රටේ බුද්ධිමය දිළිඳුකම මෙම ගැටලුවල මූල හේතුව ලෙස හඳුන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දීර්ඝකාලීන යැපීම සහ විදේශ ණය බර රටේ ආර්ථික ස්ථාවරත්වයට බාධාවක් බවත්, මෙම තත්ත්වයන් ජය ගැනීමට දියුණු චින්තනයක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ "හුණ්ඩුව" යෙදුම රටේ ස්වෛරීභාවයට සහ ජනතා විශ්වාසයට බලපෑමක් බව පෙන්වා දුන් වීරවංශ, මෙවැනි භාවිතාවන් රටේ ප්‍රගතියට බාධකයක් බවද සඳහන් කළේය. මෙම දේශනය රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ ජනාධිපතිවරයාගේ තීරණ පිළිබඳ දැඩි විවේචනයක් ලෙස දක්නට ලැබෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවත්වන ලද දේශනය මතු දැක්වේ



මේ ගැටුම අපි රටක් හැටියට මුහුණ දීලා තියෙන සුවිශේෂ තත්ත්වයක්

''අපි සියලු දෙනාම දන්නවා අද අපි මේ පසු කරමින් ඉන්න කාල පරිච්ඡේදය සාමාන්‍ය කාල පරිච්ඡේදයක් නෙවෙයි. අපේ රට හැටියට ගත්තත් ලෝකය හැටියට ගත්තත් අපි පසු කරමින් ඉන්නේ ඉතාම අභියෝග සම්පන්න, බැරෑරුම් සහගත අභියෝගවලින් පිරිච්ච වාතාවරණයක්.

ඒ නිසා අපි එක පැත්තකින් අපේ රටේ ආර්ථිකමය හා සමාජීය වශයෙන් තියුණු අභියෝගයකට මුහුණපාල ඉන්නවා. ඒ ආර්ථිකමය හා සමාජමය අභියෝගය ජය ගැනීම සඳහා වූ දේශපාලන මග පෙන්වීමක් පිළිබඳව පිපාසාවෙන් අපේ සමාජය අද පෙළෙනවා. ඒ අතරම ඔබ කවුරුත් දන්නවා ලෝක පරිමාණවත් අපට බලපාන සහ මුළු ලෝකෙටම බලපාන විශේෂිත වාතාවරණයක්, ගැටුම්කාරී වාරණයක් අප හමුවේ නිර්මාණය කරනු ලැබෙනවා. ඒ බලකේන්ද්‍ර අතර ගැටුමක් අපි ඉස්සරහ අපිට මේ විද්‍යාමාන වෙන්නේ.ඒක එක වෙලාවක වෙනිසියුලාවත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර ගැටුමක් හැටියටත්, අද ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමෙරිකාව අතර එකතුව සිදුවෙන ගැටුමක් හැටියටත් විවිධ දවටන වල ඔතලා අපිට ප්‍රදර්ශනයට ලක් කරත්, අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ ප්‍රධාන ලෝක බලකේන්ද්‍ර අතර ගැටුමක් මේ වනවිට නිර්මාණය වී තිබෙන්නේ.



මේ ගැටුම අපි රටක් හැටියට මුහුණ දීලා තියෙන සුවිශේෂ තත්ත්වයත්, ඒ වගේම අපි ලෝක පරිමාණයෙන් අද මුහුණ දීලා තියෙන විශේෂිත තත්ත්වයත් අතික්‍රමණය කරන්න බැහැ සමාජයක් වශයෙන් ජාතියක් හැටියට එකමුතු වෙන්නේ නැතුව. සමාජයක් හැටියට ජාතියක් හැටියට එකමුතු වුනොත් පමණයි, ඉතාම දියුණු චින්තනයකින් බැඳුණු පිරිසක් හැටියට මේ තත්ත්වයන්ට මුහුණ දුන්නොත් පමණයි, අපි මේ තත්ත්වය එක පැත්තකින් නැවත ගොඩනැගීමේ විශාල අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ.



එහෙම නැතුව අපි තුළ තිබෙන අපේ සමාජය තුළ තිබෙන සහ අලුතෙන් ඇති කරනු ලබන විවිධ බෙදීම්, ඉරි තැලීම් තවදුරටත් ප්‍රමෝදයට පත් කරමින් ඒවා මත තදන්ගේ දේශපාලන කඳවුරු නිර්මාණය කරගනිමින් දෙනු ලබන දේශපාලන නායකත්වයකට මේ සුවිශේෂී අභියෝගාත්මක වාතාවරණය ඉක්මවා යන්න බැහැ. පුළුවන් ඒකේ ගිලෙන්න. රටත් ජාතියත් සමඟම තමනුත් ඒකේ ගිලෙන්න වැනසෙන්න පුළුවන්. ඒ නිසා තමයි, දැන් අපි දන්නවා වර්තමාන රටේ ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණේ අපේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළවෙනි වතාවට 50%කට වඩා අඩු ජනවරමක්. මීට පෙර අපේ ජනාධිපතිවරණ ඉතිහාසය තුළ සෑම නායකයෙක්ම 50%කට වඩා වැඩි ජනවරමකින් තමයි - ඔය අන්තර්කාලීනව ආපු අය නෙවෙයි ඡන්ද බලයෙන් ආපු අය - ඒ ජයග්‍රහණයට හිමිකම් කිව්වේ.



''වර්තමාන ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා තිබෙන්නේ මේ “අර්බුද සුලියම” ආශිර්වාදයක් කරගනිමින්''

නමුත් දැන් එහෙම නිසාම වර්තමාන ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා තිබෙන්නේ මේ “අර්බුද සුලියම” ආශිර්වාදයක් කරගනිමින් නිසා, ඒ අර්බුද සුලියම ආශිර්වාදයක් කරගනිමින් බලයට ආපු ඔහුට ජනවරම 50%ට ඉක්මවන්න බැරි වෙච්ච නිසා, ඔහුට තියෙනවා වෙනත් ජනාධිපතිවරුන්ට සාපේක්ෂව ඉතා ඊමළ වගකීමක්, අත්හළ නොහැකි වගකීමක්. ඒ තමයි අර තමන් කෙරෙහි විශ්වාසය නොතැබූ ජන සමාජයන් තුළ පවා විශ්වාසය තහවුරු කරගනිමින්, ඒ විශ්වාසය මත දියුණු චින්තනයක් ඔස්සේ මග පෙන්නමින්, මේ අමාරු භාරධූර කාල පරිච්ඡේදය පසු කරන්න.



එවැනි පුළුල් නායකත්ව මග පෙන්වීමකින් තොරව මේ විදිහේ ගැඹුරු කාල පරාසයක් පහසුවෙන් පහු කරන්න කිසිම ජාතියකට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ විශ්වාසය එකක් - ජනතාව මත ගොඩනැගෙන විශ්වාසය. ඒක තමයි ජයග්‍රහණ ගේන්නේ. අනිත් එක තමයි ඒ විශ්වාසය ගොඩනගන්න හුදු වචන වලින් බැහැ. ඒ කියන්නේ වචන වලින් පුළුවන් විරුද්ධ පක්ෂයේ ඉඳලා බලය කරා ගමන යන්න. ඒක වචනවලට ගොඩක් ඒ හැකියාව තියෙනවා.



හැබැයි බලය ගත්තට පස්සේ තමන් කෙරෙහි විශ්වාසය නොතැබූ ජනප්‍රජාව අතර පවා විශ්වාසය තහවුරු කරගනිමින්, ඒ විශ්වාසය මත නව දේශපාලන චින්තනයක් පරිවර්තනයක් සඳහා වූ ක්‍රියාන්විතයක් ඉදිරියට ගෙන යනවා නම් තමයි මේ අමාරු සහ දුෂ්කර අභියෝගාත්මක අවධිය පහු කරන්න පුළුවන් වෙන්නේ. ඒක වචන වලින් සමාජය තවලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.



'' වචන වලින් දුවන්න පුළුවන් ටික දුරයි''

දැන් ඔබ දන්නවා දිට්වා සුළි කුණාටු ඇති වෙච්ච වෙලාවේ “තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙන්නම් කියලා කිව්වා.”ඒ වචන. ප්‍රායෝගිකව ගත්තොත් අද මධ්‍යම කඳුකරයේ බහුතර ප්‍රදේශවල, ගම්පොළ මිනිස්සු පවා මෑත කාලේ නගරයට ඇවිල්ලා උද්ඝෝෂණයක් පවා කළා. තවමත් කූඩාරම් වල ඉන්න මිනිස්සු ඉන්නවා තමන්ට යන්න ගෙයක් නැතුව. එතකොට අර කියපු වචනයි, වපුරපු වචන වලින් මේ බලය ගත්තට පස්සේ වචන වලින් දුවන්න පුළුවන් ටික දුරයි. භාවිතාවයි ඕනේ.



ඒ වගේම විශ්වාසය සහ විශ්වාසය හා බැඳුණු දියුණු දේශපාලන චින්තනයක් මත පණ පෙවුණු ක්‍රියාන්විතයක් ඕනේ. ඒක නැතුව අද අප්‍රිකාවේ බොහෝ රටවල් මෙන්න මේ කරුණු සම්පූර්ණ කරගෙන නැගී එනවා. රුවන්ඩාව ගත්තත්, ගෝත්‍රික මරා ගනිමින් තිබිච්ච රටවල්. අද අප්‍රිකාවේ සිංගප්පූරුව යන විරුදාවලියෙන් හඳුන්වනවා. එවැනි රටවල් බොහොමයක් අද අප්‍රිකානු කලාපයේ - ඒක බොහොම වියළි කර්කශ සමාජයක්. ජයග්‍රහණ අත් විඳපු නැති සමාජයක්. අතීතය දිහා බලන්න තරම් පිරියක් නැති සමාජයක්. ගැටුම් වලින්, මරා ගැනීම් වලින් විවිධ ඛේදජනක අත්දැකීම් වලින් පිරිච්ච ඉතිහාසයක් සහිත සමාජයක්. හැබැයි එහෙම සමාජයන් පවා අද ඒ නායකයෝ අප්‍රිකාවේ සිංගප්පූරුව එහෙම නැත්නම් ස්විට්සර්ලන්තය කියන මට්ටමට ඔසවා තබමින් ඉන්නවා.



''හුදු වචන වලට බලය පිළිබඳ ප්‍රශ්නයේදී කිසිම සේවයක්, ධනාත්මක සහයෝගයක් ලබා දෙන්න බැහැ''

ඒ නිකන් වැරහිලි ඇඳගත්තු මාවතක නෙමෙයි. බොහොම ධනාත්මක සුභවාදී නායකත්ව චින්තන මග පෙන්වීමක් ඔස්සේ බටහිරට හෝ වෙනත් කවරෙකුටවත් ගැති නොවී තමන්ගේ රාජ්‍යය අද බලගන්වමින් තිබෙනවා. නමුත් අපි තවමත් බලනවා “වචන වලින් බලය ගත්තු නිසා” වචන වලින් බලයේ ඉන්න පුළුවන්ද කියලා. මෙතන තමයි ප්‍රධානතම වැරැද්ද. වචන වලට දර්ශනයක් තියෙන්න ඕනා. වචන වලට චින්තනයක් තියෙන්න ඕනා. දර්ශනයක් සහ චින්තනයක් එක්ක බැඳුණු වචන වලට බලය පවත්වාගෙන යන්න උදව් කරන්න පුළුවන්. එහෙත් හුදු වචන වලට බලය පිළිබඳ ප්‍රශ්නයේදී කිසිම සේවයක්, ධනාත්මක සහයෝගයක් ලබා දෙන්න බැහැ.



දැන් ඕනේ රාජ්‍ය පාලනයේදී වචන වලට වඩා පෙර ක්‍රියාව. අපි දන්නවා දිට්ට විශාල ආපදාව ආවා. ඒක එන බව ඉන්දියාවෙන් කලින් දැනුම් දුන්නා. අර පාස්කු ප්‍රහාරය වගේ. විවිධ ජාත්‍යන්තර මාධ්‍ය වල කලින් මේ අනතුර ගියා. වැඩිය ඕනේ නැහැ, මහනුවර සහ කොළඹ තියෙන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ඒ මහනුවර හිටපු කාර්ය මණ්ඩලයට ඔක්කොටම වටින කියන දේවල් අරගෙන එන්න කිව්වා කොළඹට. ඒක වැහුවා.



ඉතින් අන්න පෙර ක්‍රියාව. ඉන්දියාවට නිකන් ඔය සවාරි ගහන්න ගියාට වැඩක් නැහැ. ඒ දෙන දෙයක් කාලා  වෙන දෙයක් බලාගෙන ඉන්න. ඒ පෙර ක්‍රියාව විසින් ආපදාවෙන් ආරක්ෂා කර ගැනීම. අපේ පෙර ක්‍රියා නැහැ. පසු ක්‍රියාවක් තියෙන්නේ වචන. තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා - වචන. ඒවට මුකුත් කරන්න බැහැ. සමාජයේ ඒවයෙන් වෙන්නේ දවසින් දවස විශ්වාසය නාය යන එක. කඳුකරයේ නාය යාම විතරක් නෙවෙයි විශ්වාසය නාය යන එක, අවිශ්වාසය බලවත්ව වැඩෙන එක. එවැනි තත්ත්වයකදී පාලනයක් පවත්වාගෙන යාම සුව පහසු වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා මේ වගේ වෙලාවල් වලදී මේ රට ඉල්ලන්නේ අතීතයට දොස් පැවරීම නෙවෙයි.



''මේ දොස් පැවරීම විනෝදාංශයක් පත් කරගෙන යන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අපේ රට තියෙන්නේ''

දැන් මේක විනෝදාංශයක් බවට පත් කරගෙන තියෙනවා. මොනවා වුණත් මේ කලින් හිටපු පාලකයෝ - දැන් පාතාලේ ගත්තොත් කලින් හිටපු පාලකයෝ පාතාලේ ඉවර කරලා ගියේ නැහැ. ඉතින් ඔක්කොම ඉවර කරලා හරියට ලස්සනට හදලා පිළිවෙලක් කරලා තිබ්බා නම් ඕගොල්ලොන්ව ගන්නේ නැහැනේ බලයට. ඕන වෙන්නේ නැහැනේ. මොකක් හරි දකින අඩුපාඩුවක් තිබුණ හින්දනේ හා මේගොල්ලොන්ට හරි දීලා මේක නිවැරදි කරගන්න බලමු කියලා හිතන්නේ මේ රටේ මිනිස්සු. 150ක් නොවුණත් 140 ගාණක මිනිස්සු එහෙම හිතන්නේ. එතකොට දැන් කියලා වැඩක් නැහැනේ මේක වෙලා නැහැ, අරක වෙලා නැහැ කියලා. ඔක්කොම වෙලා නම් ඕගොල්ලොන්ව බලයට ගේන්නෙත් නැහැනේ. මොකක්ද මේ කියන වඳුරු කුණු හරපය? එතකොට දැන් මේ දොස් පැවරීම විනෝදාංශයක් පත් කරගෙන යන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අපේ රට තියෙන්නේ.



ඔබ දන්නවා මේ දොස් පැවරීම සහ වෛරය මේක සමාජයක් ඉදිරියට ගෙනියන චින්තනයක් නෙවෙයි. මේක සමාජයක් පසුපසට ඇද දමන චින්තනයක්. අපි බලන්න ශ්‍රී ලංකාවේ අපේ පමණක් නෙවෙයි, ලෝකයේ ඕනම රාජ්‍යයක ඉතිහාස කතාව බොහොම සරලව සුභවාදීව ගලාගෙන ගිය එකක් නෙමෙයි. අපි නිදහසට පෙරත් බොහොම ශක්තිමත්ව ඉදිරියට ගිය අවස්ථා තිබුණා, බිඳ වැටුණු අභියෝගාත්මක අවස්ථා තිබුණා. රාජ්‍ය පාලනය කෙටි කාලයකින් අවසන් වෙච්ච කාල පරිච්ඡේද තිබුණා, ඒ වගේම බොහොම සමෘද්ධිමත්ව ගිය කාල පරිච්ඡේද තිබුණා. ඉතිහාසය කියන්නේ රළු පරළු අත්දැකීම් ඔස්සේ ඉදිරියට එන දෙයක්. ඒ ඉතිහාසය දිහා බලලා ඒකේ තියෙන මොකක් හරි අප්‍රිය දෙයක් ඉස්මතු කිරීමෙන් මොකක්ද ඇතිවෙන සේවය?



ඒක පාඩමක්, අධ්‍යාපනික කාරණයක් බවට පත් කර ගැනීම වැදගත්. හැබැයි ඒක චෝදනාවක් හැටියට ඉදිරිපත් කිරීමේ මොකක්ද තියෙන වැදගත්කම? මොකක්ද ඒකෙන් මහජන මනසට ලැබෙන උත්තේජනය? දැන් ඕනේ මහජන මනසට යහපත් උත්තේජනය ලබා දෙන ක්‍රියාමාර්ග මිසක්, තවදුරටත් සෘණාත්මක සහ වෛරී සහගත අතීතය දෙස බැන අඩගහන චින්තනයක් නෙවෙයි. අනික් එක රටක අතීතය නිදහසේ ගලාගෙන ආවා නම් අපිට සුවිශේෂ නායකත්වයන් ගැන හිතන්න ඕන වෙන්නෙත් නැහැ. අපි අහලා තියෙනවනේ කුණාටු සහගත මුහුදේ තමයි නියම නාවිකයෝ මුණ ගැහෙන්නේ කියලා. කුණාටු සහගත මුහුද ඉල්ලන්නෙම දක්ෂ නාවිකයෙක්. තමන්ගේ අදක්ෂතාවය හින්දා "මුහුද රළුයි, මම හිතුවේ නැහැ මෙච්චර රළු වෙයි කියලා, කලින් හිටපු කට්ටිය කරපු දේවල් හින්දා තමයි මුහුද මෙච්චර රළු වුණේ" කියලා කියන නාවිකයෙක්ගෙන් රටකට වැඩක් නැහැ.



දැන් ලංකාවේ මුහුණ දීලා ඉන්න ගැටලුව මොකක්ද?

රටක් අපේක්ෂා කරන ජයග්‍රහණය එහෙම නාවිකයෙකුට උරුම කරන්න බැහැ. නායකත්වයකට ඒක දෙන්න බැහැ. ඒ නිසා මේකට කියනවා පරණ සිංහලයේ මේකට "හැවිල්ල" කියලා. හැවිල්ල කියන්නේ දෙස් තැබීම. ඒකට තවදුරටත් කියන්න පුළුවන් “ආක්‍රෝෂ පරිභව” කිරීම කියලා. මේ හැවිල්ලෙන් යන්න පුළුවන් ගමනක් නැහැ. කවුරුහරි හිතනවා නම් අතීතයට පරිභව කිරීමෙන් තමන්ගේ වර්තමාන ගමන සාධාරණීකරණය කරගන්න පුළුවන් කියලා, ඒක ඉතාම අසාර්ථක, බුද්ධිමය වශයෙන් ඉතාම නිහීන ව්‍යායාමයක් මිසක් ඒක රටට කිසිම ප්‍රශස්ත ගමනක් උරුම කර දෙන්නේ නැහැ.



දැන් ලංකාවේ මුහුණ දීලා ඉන්න ගැටලුව මොකක්ද? මේක මම ඉදිරිපත් කරන අදහසක් නෙවෙයි. ඉන්දියාවේ හිටපු ප්‍රධාන ආර්ථික උපදේශකයෙක් වෙච්ච ආචාර්ය අරවින්ද් සුබ්‍රමණියම් මහත්මයා පසුගිය දවසක මහ බැංකුවේ ආරාධනාවකින් ලංකාවට ආවා. එයා එයාගේ දේශනයේදී කියනවා ඉන්දියාවටත් පෙර සර්වජන ඡන්ද බලය ලබපු ශ්‍රී ලංකාවට එමගින් ආර්ථික ස්ථාවරත්වයක් හිමි කර ගැනීමට නොහැකි වුණේ බරපතල බුද්ධිමය ගැටලුවක් නිසා කියලා. බරපතල බුද්ධිමය ගැටලුවක් නිසා. ඒ වගේම එයා කියනවා, ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසයේ ගෙවුණු කාලයෙන් 60%ක්ම ගත කරලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් යටතේ කියලා.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ගැලවුම්කරුවා නම්, ඔවුන් සමඟ 60%ක් ගෙවපු කාලයෙන් ඔවුන්ගේ වැඩසටහන් මත යැපෙමින් ආවා නම්, කොහෙද අපිට වැරදුනේ? ඒ ඉන්දියානු ආර්ථික උපදේශකයා කියන්නේ මේ 60%ක් මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල කරපින්නාගෙන යාම නිදන්ගත සාර්ව ආර්ථික පීඩනයක ලක්ෂණයක් කියලා. ගැටලුව තියෙන්නේ බුද්ධිමය හීනතාවය මත කියලා. ඔහු කියනවා ඉන්දියාව 1991න් පස්සේ වසර 35ක්ම කිසිම IMF වැඩසටහනකට යොමු වෙලා නැහැ කියලා.


ඒ වගේම ඔහු කියනවා ඉන්දියාව හෝ චීනයට සාපේක්ෂව ලංකාවේ දළ දේශීය ආදායමේ පංගුවක් හැටියට විදේශ ණය බර ඉතා ඉහළයි කියලා. ඔහු කියනවා විදේශ ණය ප්‍රාග්ධනය ලබා ගැනීම වර්ධනයට අවශ්‍ය වුණාට, එයින් සිදුවෙන දේ තමයි ඒ එන ධනය ක්ෂණයෙන් ආයෙත් එළියට ගලාගෙන යනවා. දැන් අපිට මොනවාහරි විදේශ ව්‍යාපෘතියක් ආවොත් ඒගොල්ලෝ කියනවා අහවල් සමාගමට දෙන්න කියලා, අමුද්‍රව්‍ය ගන්නෙත් ඒ රටෙන්. එතකොට ව්‍යාපෘතියේ පොඩි සිල්ලර වැඩ ටිකක සල්ලි විතරයි ලංකාව ඇතුළේ ඉතුරු වෙන්නේ. ඉතින් මෙතුමා කියනවා ඒ එන ප්‍රාග්ධනය වේගයෙන් ආයෙත් එළියට යන නිසා වර්ධනය දිගුකාලීන වෙන්නේ නැහැ කියලා. ඔහු අවසානයේ කියනවා මේක නිදන්ගත සාර්ව ආර්ථික රෝග ලක්ෂණයක්, බුද්ධිමය දිළිඳු බවේ ප්‍රතිඵලයක් කියලා. මොකක්ද මේ බුද්ධිමය දිළිඳු බව කියන්නේ?



''බුද්ධිමය හීනතාවය අපි පළමුකොටම පරාජයට පත් කරන්න ඕනේ''

මේ බුද්ධිමය දිළිඳු බව සෑම අංශයකම තියෙනවා - දේශපාලන තන්ත්‍රවල, දේශපාලනඥයන් අතර, බුද්ධිමතුන් කියන අය අතර වගේම ආගමික සංස්ථා තුළත් තියෙනවා. රටට නිසි මග පෙන්නවීමක් කරන කලාවක් අපි මේ සමාජයේ දකින්නේ නැහැ. කවුරුත් නොසිතන දෙයක් තේරුම් කර දෙන බුද්ධිමය මග පෙන්වීමක විශාල හීනතාවයකින් අපි පෙළෙනවා. ඒ බුද්ධිමය හීනතාවයයි අපි පළමුකොටම පරාජයට පත් කරන්න ඕනේ.



ඒක පරාජයට පත් කරගැනීමේ ක්‍රියාන්විතය ඇතුළේ තමයි ප්‍රතිඵල ගේන්න පුළුවන් වෙන්නේ. අපි දැන් කරන්නේ බුද්ධිමය හීනතාවය තව තව වවන එක. අදත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාව ඇවිල්ලා අගමැතිනියට අතට අත දීලා ගියාම අපි හරි සතුටු වෙනවා. අපිට හිතෙනවා ඔවුන් අපිව පොරොන්දු දේශයට අරගෙන යයි කියලා. ඉතිහාසයෙන් 60%ක් ඔවුන් සමඟ ගිහිල්ලත් අපි තවමත් හිතනවා ඔවුන් අපේ ගැලවුම්කරුවා කියලා. ඒක කොපමණ බුද්ධිමය වශයෙන් නන්නත්තාර වීමක්ද? දේශපාලන තන්ත්‍රය විතරක් නෙමෙයි, පුවත්පත් කලාවේදීන්, මාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු පවා ඒක තමයි වර්ණනා කරන්නේ.



මේකේ තියෙන පතුල නොපෙනෙන අවසාන ඉරණම ගැන කවුරුත් පෙන්නන්නේ නැහැ. ඉතින් මේ රට භාර ගන්නවා නම් මේ බුද්ධිමය ගැටලුව විසඳගන්න ඕන. තවදුරටත් ඒ බුද්ධිහීනතාවය "චූන්" කිරීමෙන් වැළකෙන්න ඕන. ඒ වෙනුවට දියුණු චින්තනයක් ඔස්සේ මහා ක්‍රියාන්විතයක් ඉදිරියට ගෙනයන්න ඕන. අද අපිට පේන්නේ එහෙම දෙයක්ද? අභියෝගය භාර ගන්න බැහැ කියලා පේනකොට මුලින්ම හිතෙන්නේ අතීතයට චෝදනා කරන්න. ඒක හරි ලේසියි, හැබැයි ප්‍රතිඵලයක් නැහැ. මේක නිදන්ගත බෝවෙන රෝගයක් වගේ. මේක මුලිනුපුටා දාන්නේ නැතුව රට ගොඩනගන්න බැහැ.



ජගත් මනුවර්ණ කියන නළුවා කියපු කතා ...

ඔබට මතක ඇති 2014දී විතර අර ජගත් මනුවර්ණ කියන නළුවා - දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී - ඔහු කිව්වේ මේක “කාලකන්නි ඩිස්නිලන්තයක්” කියලා. ඔහු කිව්වා මේ කාලකන්නි ඩිස්නිලන්තයට ජාතක කරපු වෙලාවේ අම්මටයි තාත්තටයි හිතුනේ නැත්තේ ඇයි මගේ බෙල්ල මිරිකලා මරන්න කියලා. දැන් බලන්න එහෙම චින්තනයකින් රටක උද්‍යෝගය වඩවන්න පුළුවන්ද? අභියෝග ජය ගන්න මනසක් නිර්මාණය කරන්න පුළුවන්ද? ඒ බුද්ධිමය දිළිඳු බව සතුරෙක් නෙවෙයිද? ඒ වගේම මට මතකයි අර සමනලී ෆොන්සේකා කියන නිළිය ජේතවනාරාමයට කුණුගොඩක් ගහලා පින්තූරයක් දාලා තිබුණා. මොකක්ද ඒකෙන් පෙන්නන බුද්ධිමය ප්‍රශස්ථභාවය?



එයා කනේ නහයේ කරාබු දැම්මත්, පච්ච කොටා ගත්තත්, ඉරිච්ච කලිසම් ඇන්දත් ඒවා පුද්ගල කැමැත්ත, අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ජේතවනාරාමයට කුණුගොඩ ගහලා පෙන්නන්නේ ඇයි? අන්න මනස. ඒ තමයි අපි බියට පත් වෙන්න ඕන මනස. තමන්ගේ රාජ්‍යයේ ඉතිහාසය ඇතුළේ ජේතවනාරාමයට ඓතිහාසික ස්ථානයක් තියෙනවා. ඒකට කුණු ගොඩවල් ගොඩ ගහන්න හිතෙන්නේ ඇයි? ඊළඟට අර ගාල්ලේ ඉන්න හෑවගේ වගේ මහත්තයා කිව්වා බුදු හාමුදුරුවෝ බෝ ගහකට නෙවෙයි පොල් ගහකට හරි කොස් ගහකට හරි පිට දුන්නා නම් අපිට කොස් කන්න පොල් කන්න තිබුණා කියලා. එයාට අනුව මේක ගහක්. දැන් එයාට ප්‍රශ්නේ තියෙන්නේ බෝ ගහේ ගෙඩි කන්න බැරි එක ගැන. මේක නිදන්ගත රෝගයක්... මේක සංස්කෘතික විරෝධී මනසක්, ඓතිහාසික සභ්‍යත්වයට ගරහන මනසක්. මේක රට අඟලක්වත් ඉදිරියට ගෙන යන්න සමත් නැති මනසක්.

 


''පිළිම වන්දනාව ගෝත්‍රිකයි කියපු සභානායක රෝමයට ගිහිල්ලා පාප් වහන්සේට ආරාධනා කරනවා ''

මට මතකයි අද ඉන්න සභානායකතුමා එක වෙලාවක කිව්වා පිළිම වන්දනාව ගෝත්‍රිකයි කියලා. දැන් එහෙම කියපු සභානායකතුමා රෝමයට ගිහිල්ලා පාප් වහන්සේට ආරාධනා කරනවා ලංකාවට එන්න කියලා. නමුත් කතෝලික පල්ලියෙත් තියෙන්නේ පිළිම වන්දනාවනේ. ඉතින් බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බලාගෙන පිළිම වන්දනාව ගෝත්‍රිකයි කියනකොට එයාට අමතකයි කතෝලික ජනතාවත් පිළිම වන්දනා කරනවා කියලා. මොකක්ද මේ දෙබිඩිකම... ලෝකයේ ඕනෑම වමේ ව්‍යාපාරයක් ඒ රටේ ඓතිහාසික සාරය එක්ක මුහු වුණා මිසක් ඒකට පිටුපෑවේ නැහැ. ඒකෙන් එළියට ආවේ නෑ. මට මතකයි ඒ කාලේ ජේ.වී.පී එකට උදව් කරපු ජිප්සීස් සුනිල් පෙරේරා කිව්වා “පින් කෙත හෙළ රන් දෙරණේ උපදින්න හේතු වාසනා වේවා කිව්වට එකෙක්වත් මේ රටේ ආයෙත් උපදින්න හිතෙන්නේ නැහැ කියලා”. ප්‍රශ්නය තියෙන්නේ මේ මනස ගැනයි. සාමාන්‍යයෙන් රට මොක වුණත් මිනිස්සු තම මව්බිමට ගරහන්නේ නැහැනේ... රට මොක වුණත්...


වරක් ජෝර්ජ් ජෝර්ජ් බර්නාඩ් ෂෝ කියනවා “දේශප්‍රේමය කියන්නේ තමන් ඉපදුණු රට අනිත් රටවලට වඩා උසස් බවට ඔබ තුළ පවතින විශ්වාසයයි” කියලා. තමන්ගේ රට උසස් නැත්නම්, මේකේ ආයේ ඉපදෙන්න හිතෙන්නේ නැත්නම්, ඉපදුණු වෙලාවේ මරලා දැම්මේ නැත්තේ ඇයි කියලා අහනවා නම්, එහෙම මනසකට රටක අභියෝග ජයගන්න පුළුවන්ද? ඒක වහාම මුලිනුපුටා දැමිය යුතු චින්තනමය පිළිකාවක්. ඒකේ දිගුවක් හැටියට තමයි බලය ගත්තට පස්සේ භික්ෂූන් වහන්සේට වනාචාරියා කියන්නේ, රණවිරුවට සෙබලා කියන්නේ, රණවිරුවන්ගෙන් පලි ගන්නේ. දැන් ඔය හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා හිරේ දාන්න ඕන වෙලා තිබුණේ එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවටයි තවත් අයටයි. දැන් ඊයේ සී.අයි.ඩී එක උසාවියට කියනවා “ඔහු සැකකරුවෙක් නෙවෙයි” කියලා. සැකකරුවෙක් නොවෙන කෙනෙකුට ජනාධිපති  (DO) ගහලා (ඩිටෙන්ෂන් ඕඩර්) දින 90ක් තියාගෙන ඉන්නවා.


විනිශ්චයකාරතුමා අහනවා සී.අයි.ඩී එකෙන් මේ පුද්ගලයා සැකකරුවෙක්ද කියලා. "නෑ ස්වාමීනි, සැකකරුවෙක්ද යන වග සොයා බලමින් ඉන්නවා" කියනවා. දින 90කට ඩී.ඕ ගහලා රටක රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගන්නේ ලෝකේ මොන රටේද? කොහොමහරි බොරු සාක්ෂි හදලා සැකකරුවෙක් කරන්නයි බලන්නේ. දැන් ඔය සිරිල් ගාමිණී පියතුමා මේක පස්සේ එල්ලෙන්නේ ඇයි කියලත් මම දන්නවා. ඒකේ පොඩි නඩු හූටපටයක් තියෙනවා. මම ඕවා කියන්න කැමති නෑ. නැත්නම් හිතයි... අපෙත් ඉන්නවා කතොලික මිත්‍රයෝ. අපිට කිසිම ආගමක් දහමක් එක්ක ප්‍රශ්නයක් නැහැ.නමුත් සිරිල් ගාමිණී පියතුමාට පෞද්ගලික අරවුලක් තියෙනවා. අර එතුමා කරපු සූම් මීටින් එකක් එක්ක වෙච්ච ඇබැද්දියක් තියනවා. උවමනා වුනොත් මම ඒ ගැන පසුව කියන්නම්.

කෙසේ වෙතත් දැන් රණවිරුවට "සෙබලා" කියනවා, ගරහනවා. නිදහස් දිනයට අවිබලය අභිමානයක් පෙන්නන්නේ නැහැ. හමුදාව ආපදාවලදී මිනිස්සු බේරගන්න කණ්ඩායමක් බවට විතරක් පටු කරනවා. සිංහල අලුත් අවුරුද්දේ ජනාධිපති "සැඟවුණු අමුත්තා" වෙනවා. හොයාගන්න නැති වෙනවා. මොකක්ද මේ. මේ අර දිළිදු චින්තනය. මේ අර අතීතයට වෛර කරන මනසේ භාවිතාව. ඒ භාවිතාව තමයි අපි දකින්නේ.



"දේවෝ වස්සතු කාලේන රාජා භවතු ධම්මිකෝ..." කියනකොට නලියනවා

පාර්ලිමේන්තුව අරින දවසේ ජයමංගල ගීත හැලෙනවා. "දේවෝ වස්සතු කාලේන රාජා භවතු ධම්මිකෝ..." කියනකොට නලියනවා. ඒ වගේම බලංගොඩ කාශ්‍යප ස්වාමීන් වහන්සේට "කාශ්‍යප" කියලා නමින් ආමන්ත්‍රණය කරනවා. ඉතිහාසයේ කිසිම දේශපාලනඥයෙක් භික්ෂූන් වහන්සේ නමකට එහෙම නමින් කතා කරන්නේ නැහැ. මම සිරිල් ගාමිණී පියතුමාට පියතුමා කියන්නේ ඒකයි ශික්ෂණය. ඒක තමයි ඓතිහාසිකව අපිට තියෙන ශික්ෂණය. එතුමාට නියමිත නාමකරණයෙන් මට ගැලවෙන්න බැහැ. බලංගොඩ කාශ්‍යප හාමුදුරුවන්ට "කාශ්‍යප" කියන එක අර නරුම මනසයි. මේ නරුම මනස පරද්දන්න බැරිනම් අපි ඉතා බයානක ඉරනමකට ගොදුරු වනවා.



මේ මනසට රටක් ගොඩනගන්න බැහැ. ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රටට කියන්නේ "හුන්ඬුව" (slum) කියලා. මේවා රටවල්ද, මේ හුන්ඬුනේ කියලා කියනවා. ප්‍රභාකරන්වත් ඇවිල්ලා කිව්වම මේක හුණ්ඬුවක්, මම මේ හුණ්ඩුව දෙකට බෙදා ගන්නවා කියලා... කිව්වේ නැහැ. ප්‍රභාකරන් සටන් කළේ හුණ්ඩුවෙන් කෑල්ල වුණත් වටිනා හින්දා. දැන් ඇයි මේ තමන් ඉපදුනු, තමන්ට නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලිය ලබා දීපු රටට මෙහෙම කියන්නේ? ඒ නොලැබුණු දේ ගැන විතරක් බලලා වෛරීකාර මනසකින් දේශපාලනය කරන කාටවත් ජයග්‍රහණ නිර්මාණය කරන්න බැහැ. මොකටද මිනිහා දඩ බඩ ගාලා පාර්ලිමේන්තුවේ ආවේ.... පාර්ලිමේන්තු ආවේ වරදක් නිවරදි කර ගන්න. පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ උදවියටත් මේක තේරෙන්නේ නැහැ. රටට "හුණ්ඬුව" කියපු වෙලේමයි ඒ වචනය ඉල්ලා අස් කරගන්න කියලා කියන්න තිබුණේ. එහෙම කියන්න කොන්ද පණ තියෙන මිනිහෙක් එතන හිටියේ නැහැ. පස්සේ කිව්වට වැඩක් නෑ. ඒවා තැපෑලේ කියා වැඩක් නෑ... බොහොම ගරු කටයුතු ලෙස කියන්න තිබුණා... ජනාධිපතිතුමනි... ඒ කියපු දේ වැරදියි... මේ රට ගැන එහෙම අවතක්සේරුවක් කරන්න එපා කියලා ඒ වෙලාවේම මතු කරන්න තිබුණා. වචනය ඉල්ලා අස්කරගන්න.



''පානදුර වෙරළේ ඉඳන් බැලුවම නැව පේනවා. ඊයේ හැන්දෑවේ ඉඳන් අවසර ඉල්ලනවා''

දැන් අපි ඉස්සරහ ලෝක අර්බුදයකුත් ඇවිල්ලා. මැදපෙරදිග තියුණු යුදමය ගැටුමකට ලෝකය මුහුණ දෙනවා. ඒ ප්‍රශ්නය ලංකාව ආසන්නයටම ඇවිත් තියනවා. තමුන්නාන්සෙලා දන්නවා මාධ්‍යවල ගියේ ඉරානයේ එක නැවක් ගැන විතරයි. ඇත්තටම ඉන්දියාවේ තිබිච්ච ජාත්‍යන්තර මිලිටරි ප්‍රදර්ශනයට ඉරානයෙන් නාවික හමුදා යාත්‍රා තුනක් එනවා. ඉන් එකක් ගැන තමයි ඊයේ අනාවරණය වුණේ. තව එකක් මොකද වුණේ කියලා නැහැ. තව එකක් අපේ පානදුර වෙරළාසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කරගෙන ඉන්නවා. ඒ හරිය ගැඹුරු මුහුද නොවෙයි. ඒ නිසා සබ්මැරීන් අවදානම අඩුයි. ඒ යාත්‍රාව ඉල්ලනවා කොළඹ වරායට එන්න අවසර දෙන්න කියලා. පානදුර වෙරළේ ඉඳන් බැලුවම නැව පේනවා. ඊයේ හැන්දෑවේ ඉඳන් අවසර ඉල්ලනවා, ඒත් තවම දීලා නැහැ. ඒ අතරේ ඉරානයට සතුරු පාර්ශ්වයේ තානාපති කාර්යාලයක් රජයට තර්ජනය කරලා තියෙනවා "නැව වරායට ගෙනාවොත් අපි ගුවන් ප්‍රහාර එල්ල කරනවා" කියලා. ඉරානය කියන්නේ යුද්ධය වෙලාවේ අපිට ආයුධ හා උණ්ඩ ගුවන් මගින් ගෙනත් දීපු රටක්. පත්තරවල මේවා ගියේනැහැ...



අදත් අපේ තේ නිෂ්පාදනයෙන් වැඩිම පංගුවක් ගන්නේ ඔවුන්. සපුගස්කන්ද, උමා ඔය වගේ ව්‍යාපෘති වලට උදව් කරපු රටක්. අද ඒ අයගේ නැව අපේ මුහුදු සීමාවේ අසරණ වෙලා ඉන්නේ වරායේ ආරක්ෂිතව නතර වෙන්න. එතකොට ඇමෙරිකානු තානාපති කාර්යාලය කියනවා වරායට ගේන්න එපා ගෙනාවොත් ගහනවා කියලා. ජනාධිපතිවරයා තාම හිත හිත ඉන්නවා. අපි දන්නේ නැහැ ඇමෙරිකාවත් එක්ක ගහලා තියෙන රහස් ආරක්ෂක ගිවිසුම් මොනවාද කියලා. යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර මහත්තයා පිටු 4ක තිබුණු "සෝෆා" (SOFA) ගිවිසුම පිටු 17ක එකක් බවට පත් කළා. සෝෆා එකෙන් හදිසි තත්වයන් වලදී හමුදා කණ්ඩායම් වලට අපේ වරායවල්, ගුවන් තොටුපොළවල් පාවිච්චි කරන්න ඉඩ හදනවා.



දැන් මේ ආණ්ඩුව තවත් ගිවිසුම් අත්සන් කරලා ඇති. ඉන්දියාවේ නාවික ප්‍රදර්ශනයට ගිය නැව් දෙකක් අද නැහැ, එකක් ප්‍රහාරයකට ලක් වෙලා. ඉතිරි වුණු නැවට කොළඹ වරායට එන්න තීරණයක් දෙන්නේ නැහැ. මැදපෙරදිග අපේ මිනිස්සු ලක්ෂ 17ක් ඉන්නවා. ජනාධිපතිවරයාට කොන්දක් තියෙන්න ඕන ඇමෙරිකානු තානාපතිට කියන්න "මේ නැව එන්නේ යුදමය කටයුතු වලට නෙවෙයි, මානුෂීය සහ තාක්ෂණික දෝෂ හදාගන්නයි, අපේ සීමාවෙන් එහාදී ඕන දෙයක් කරගන්න" කියලා. අපේ නැව්ත් ඉරාන මුහුදු සීමාවට ගිය වෙලාවලදී ඔවුන් අපේ අයව නිදහස් කරලා තියෙනවා. දැන් අපි කොන්දක් නැතුව ඉන්න ගිහින් නොදැනුවත්වම එක පාර්ශ්වයකගේ ගොදුරක් වෙනවා. ඔබ දන්නවා ඇමරිකානු කඳවුරු මැදපෙරදිග කලාපයේ තිබුණු ඒවා ඔක්කොම විනාශ කරලා. බිලියනක ගානක පාඩුවක් සිද්ධ වෙලා. දැන් ඔවුන්ට මැදපෙරදිග කලාපයේ නැහැ පහසුකම් සපයා ගන්න තැන්. ළඟම තියෙන්නේ ඉන්දියාව සහ ලංකාව. ඒක නිසා ඔවුන් බලනවා මේ පැත්තට එන්න. මෙතනදි අපි නිසි නොබැඳි ස්ථාවරයක හිටියේ නැත්නම් මේ අනවශ්‍ය ගැටුමක අපිත් ගොදුරක් වෙනවා.



''රට හුණ්ඩුවක් හැටියටට දකින්නේ ආණ්ඩුවක්ද පාණ්ඩුවක්ද''

ඉන්දියාවත් එක්ක ගිවිසුම් හතක් ගැහුවේ කාටවත් නොකියා. ඒ මේ රට "හුණ්ඬුවක්" නිසාද? මේ රට හුණ්ඬුවක් කියලා හිතෙන කෙනෙකුට ඕන එකක් අත්සන් කරන්න පුළුවන්. රට හුණ්ඩුවක් හැටියටට දකින්නේ ආණ්ඩුවක්ද පාණ්ඩුවක්ද. මීට කලින් තිබිච්ච කිසිම ආණ්ඩුවක් පාණ්ඩුවක් වෙලා නෑ. එයාලා රට හුණ්ඬුවක් හැටියට දැක්කේ නැහැ. මේ ක්‍රියාදාමය සංචාරක ව්‍යාපාරයටත් බලපානවා. සංචාරකයින්ගෙන් සියයට තිහක් පමණ එන්නේ මැදපෙරදිග ගුවන් කලාපය හරහා. දැන් සංචාරක ව්‍යාපාරයට බලපෑම එල්ල වෙනවා. මේවට ඕන පෙර ක්‍රියාමාර්ග. පූර්ව සැලසුම්..

දැන් අපේ තේ නිෂ්පාදකයන්ගේ තියනවා ඩොලර් මිලියන 10ක් විතර ඉරානයෙන් එන්න තියෙනවා. ගන්න විසදියක් නැතිව. ඒවට ඕන පූර්ව සැලසුම්. එනිසා මේ දොස් කීම ආකෘෂ්‍ පරිභව කිරීම සහ අතීතයට ගැරහීම කියන වැඩ වලින් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. ඉතින් මේ අතීතයට ගැරහීමෙන් මේවට විසඳුම් ලැබෙන්නේ නැහැ. මේකෙන් සමාජය තව බෙදෙනවා.



ජනාධිපතිවරයාට පැරිලිමෙන්තුවට එද්දී අර "ගිල්ටි ෆීලින්" (guilty feeling - වරදකාරී හැඟීමක්) එකක් තිබුණ කියලා මම කිව්වනේ... තියෙනවා. මොකක්ද කියලා මම කියන්නම්. ලාෆ්ස් ගෑස් එකට හම්බන්තොට ගබඩා සංකීර්ණය ඕන වෙලා තිබුණා එයාලයි ගෑස් ගබඩා කරගන්න. මීට කලින් හිටපු ජනාධිපතිවරු දෙන්නෙකුට ඒ ඉල්ලීම ආවත් එයාලා ඒකට එකඟ වුණේ නැහැ. මුදලකුත් ඔෆර් කළා. නමුත් ජනාධිපතිවරු ඒකට එකඟ වුණේ නෑ... මොකද රජයේ තියෙන ගෑස් එකට ඒ බිස්නස් එක බලපාන නිසා. නමුත් මේ ආණ්ඩුව ආවට පස්සේ වැගේ පිටිය මහත්තයාගේ ලාෆ් එකට ධම්මික පෙරේරතාත් හවුල් වුණ. වැගපිටිය මහත්තයයි ධම්මික පෙරේරයි එකතු වෙලා ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් අර අවුරුදු ගාණක් බැහැ කියපු හම්බන්තොට ගබඩා සංකීර්ණය ලබා ගත්තා. හැත්ත හය වසරක හිටපු අය දෙන්නෙක් බෑ කියද්දී හැත්ත හතේ ආපු එක්කෙනා එක දුන්නා.



ඊළඟ ප්‍රශ්නය තමයි ඇග්‍රිමන්ට් එකේ තියෙන්නේ පිටරටට විකුණන්න ඕන, ඉන් 20% ලෝකල් මාකට් එකට දාන්න ඕන. මේක බී ඕ අයි ව්‍යාපෘතියක්. අලුත් කොටස් හිමියාට ඕන උනා මේකත් වෙනස් කරගන්න. මේක වෙනස් කරගන්න නිකන් බෑ. ඒකට කළේ ඕමානයෙන් හම්බවෙච්ච ගෑස් සැපයුම පැත්තකට දාලා ඇමරිකාමනු සමාගමකට ටෙන්ඩරය දුන්නා. කිසිම වැදගැම්මකට නැති අමෙරිකානු සමාගමක්. ඒගොල්ලන්ට නැව් දෙකයි තියෙන්නේ. පිරිවිතර පවා වෙනස් කළා.

ඕමානු සමාගම අපිට දුන්නේ රුසියාවෙන් ගේන ගෑස්. මම ඊයේ හමුවුණා රුසියානු තානාපතිතුමා. එතුමා කිව්වා අපි ලෑස්ති වෙනවා කුඩා  ප්‍රමාණයේ පරමාණුක බලශක්ති ඒකක කීපයක් ලංකාවට ලබා දෙන්න කියලා. අපි ඉන්දියාවටත් මේ බලාගාර හදා දීලා තියෙනවා කිව්වා. බංග්ලාදේශයේ හදලා තියෙනවා. අඩු පිරිවැයකින් විදුලි බලයනිපදවනවා.

නමුත් රුසියාවත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න තියෙන අකමැත්ත නිසා ඒවාට ඇහුම්කන් දෙන්නේ නෑ...



''ගෑස් අර්බුදය ආවේ ඩොලර් නැතිකම හින්දයි''

දැන් ගල් අඟුරු ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් ගල් අඟුරු නැව් දහයක් ගෙනත් තියෙනවා දහයම බාල ගල් අඟුරු. ඊයෙත් පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ කාරක සභාවට දැනුම් දීලා තියෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව වාර්තා කරලා තිබුණා . බාල ගල් අඟුරු වැඩිපෙර තිබිලත් විදුලිය උපදවන්න බෑ... ඔය ගල් අඟුරු වලට වෙච්ච දේ තමයි ගෑස් වලට වෙලා තියෙන්නේත්. ගෑස්ටෙන්ඩරේ දුන්නේ සුදුසුකම් රහිත නැව් දෙකක් විතරක් තියෙන සමාගමකට. කලින් සමාගම් වලට නැව තිබුණා හතර පාහ හය.



ගෑස් ටෙන්ඩරය දුන්නෙත් නුසුදුසු සමාගමකට. ගෑස් අර්බුදය ආවේ ඩොලර් නැතිකම හින්දයි. දැන් කියනවා අපිට ගබඩාවක් නැහැ කියලා. මැතිනියගේ කාලේ ඉඳන් හදපු ගබඩා සංකීර්ණ තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බන්තොට විශාල ගබඩා සංකීර්ණයක් හැදුවා. හැබැයි දැන් කියනවා ගබඩාවක් නැහැ කියලා. අර නුසුදුසු සමාගමට ටෙන්ඩරය දුන්නම ගෑස් අර්බුදයක් එනවා, එතකොට තමයි පාර පෑදෙන්නේ ලෝකල් මාර්කට් එකට බඩු දාන්න අවසර ඉල්ලන්න. අර ටෙන්ඩරේ දුන්නු, නැව් දෙකක් පමණක් තියෙන සමාගමට මේක සපය ගන්න බෑ කියන්නේ නෑ...  ඒ වෙනඒ වෙනුවට කියනවා ගෑස් ගෙනල්ල ගබඩා කර ගන්න ගබඩා පහසුකම් නෑලු.



නැව් දෙකක් පමණක් තියෙන සමාගමකට ගෑස්ටෙන්ඩරේ දුන්නම ලංකාවෙ අර්බුදයක් එනවා. අර්බුදය ආවාම පොට පෑදෙනවා අර ධම්මික මහත්තයාගේ ගෑස් ටික ලෝකල් මාකට් එකට දාගන්න.  දැන් කියනවා බංග්ලාදේශීය ප්‍රශ්න නිසා බංගලාදේශයට ගෑස් යවන්න බැහැල්ලු. ඒ කියන්නේ බංලාදේශය “රේජින් චේන්ජ්” එකෙන් පස්සේ ගෑස් පාවිච්චිය නවත්තලද.  අනිත් අතට බංග්ලාදේශයේ විතරද විදේශ මාකට් එක තියෙන්නේ.  වෙන ගෑස් පාවිච්චි කරන රටවල් ලෝකේ ඇත්තෙම නැද්ද.



''ධම්මික පෙරේරාගේ “ගුණ්ඩුව” සාධාරණීකරණය කරගන්න ජනාධිපති තකහනියක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා''

ලංකාව හුණ්ඬුවක් නම් මාලදිවයින කියන්නේ හුණ්ඩු ගොඩක්නේ. ඒක හුණ්ඩු එක්සත් රාජ්‍යය. දැන් මේ ජනාධිපතිගේ මනස ඇතුළේ තියෙනවා මේ මැච් එක ගහන විදිය. අර්බුදය පාවිච්චි කරලා ආණ්ඩුව ලිට්රො එකට කියනවා. ඕගොල්ලොත් ගෑස් දෙන්න. ලාෆ් එකක් දෙයි. තාවකාලිකව කියල කියන්නේ. “ලාෆ්ස් එකට ලෝකල් මාර්කට් එක දෙන්න” ඕන කියලා. ඔය ප්‍රශ්නය ඔහොම කියද්දී ඇඟ ඇතුලෙන් එනවා යටි හිතෙන් ආරෝවක්. අන්න ඒ වරදකාරී හැඟීම මකාගන්න තමයි "මේවා රටවල්ද, මේවා හුණ්ඩු" කියලා කියන්නේ.

ධම්මික පෙරේරාගේ “ගුණ්ඩුව” සාධාරණීකරණය කරගන්න ජනාධිපති තකහනියක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා “ලංකාවට හුණ්ඩුවක්” කියලා කියනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න අපේ කට්ටියත් “හුණ්ඩුව” අල්ලගන්නවා. ඒ හුණ්ඩුවට යටින් ධම්මික පෙරේරාගේ ගුණ්ඩුව ක්‍රියාත්මක වෙනවා.  කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ.



අපේ රට වගේ හුණ්ඩු ගොඩක්නේ මාලදිවයින. දැන් චීන ගවේෂණ යාත්‍රාවක් පහුගිය 19 වැනි දා මාලදිවයිනට ආවා. ඒක සාගර ගවේෂණ යාත්‍රාවනක්.  ඒගොල්ලො ඇත්තටම කොළඹ වරායට එන්න ඕනෙ. නමුත් ආණ්ඩුවෙන් එන්න දෙන්නේ නෑ. ආණ්ඩුවෙන් කියලා තියෙනවා චීනයට....අපේ ආණ්ඩුව කියනවා ඉන්දියාවෙන් සම්මත මෙහෙයුම් පටිපාටිය හදනවා. (එස්.ඕ.පී SOP) එක හදලා දෙනකම් ඉඩ දෙන්න බැහැ කියලා. කොළඹ වරායට එන යාත්‍රා ගැන තීරණ ගන්නේ ඉන්දියාවද? මාලදිවයින අපිට වඩා පොඩි රටක් වුණත් ඉන්නේ ඉස්සරහින්, චීන ගවේෂණ යාත්‍රාවක් ආවම එයාලා ඒකට ඉඩ දෙනවා.



මාලදිවයිනට තියෙන හයියක් වත් දැම්මේ රටට නෑනේ...   එතකොට කව්ද මේ රට දැන් හුණ්ඩුවක් කරල තියෙන්නෙ. මාලදිවයිනේ ජනාධිපතිවරයාට තමන්ගේ ස්වෛරීත්වය ගැන අභිමානයක් තියෙනවා. ලංකාවේ ජනාධිපතිට තමන්ගේ රට "හුණ්ඬුවක්" වගේ පේන්නේ ඔහු ඒ තරමට ගැති වෙලා ඉන්න නිසයි. මේක හුණ්ඬුවක් කියලා හිතාගත්තම ඕනෑම ගිවිසුමකට අත්සන් කරන්න හරි ලේසියි. දැන් බලාගෙන යනකොට මේ මනුස්සයා කොච්චර කොන්ද බිඳගෙනද. කොච්චර නිවට වෙලාද. අන්න එහෙම මිනිහට තමන්ගෙ රට හුණ්ඩුවක් වගේ පේන එක වළක්වන්න බෑ....

රට හුණ්ඩුවක් වගේය කියලා හිතා ගත්තොත් විතරයි මේ ඔක්කොම පාවාදීම් ටික කරන්න පුළුවන්. මේක මහා වටිනා රටක්. මේක මහා සම්පත්වලින් පිරුණු රටක්, කියලා හිතා ගත්තොත් ඔය පාවාදීම් ටික කරන්න බෑ.



''පෙරේරා මහත්තයාට වැඩේ කරලා දෙන්න ගෑස් වෙළඳපොළේ අර්බුද හදනවා''

පෙරේරා මහත්තයාට වැඩේ කරලා දෙන්න ගෑස් වෙළඳපොළේ අර්බුද හදනවා. ගෑස් වෙළදපොලේ අර්බුදය හදනවා. අර්බුදය හදල අර ගොඩගහගෙන තිබිච්ච ගෑස් ටික දේශීය වෙළඳපොළට එන ආකාරය ධම්මික පෙර රට හදල දෙනවා. ධම්මික පෙරේර මහත්තයාගේ හවුල්කාරයෙක් වුණේ නැත්නම් වැගේ පිටියට බෑ වැඩේ කරගන්න.  වැගේ පිටිය වෙලාව බලලා හරි නිලේ ඇල්ලුවා.



මේගොල්ලෝ මේ ගජ මිතුරු රැලක්.  ගජේ මිතුරු රැලක් එකතු වෙලා තමයි මේ රට මේ පාරෙ අරගෙන යන්නෙ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන. මේ හැවිල්ලෙන්, පරිභවයෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේක තමයි අසමත් වීමේ හේතුව. අද අපිට ඕනේ දියුණු චින්තනයක්. සමාජය බලගන්වන චින්තනයක්.  අතීතය කෙරෙහි වෛරයෙන් නොබලන චින්තනයක්. රාජ්‍යය කෙරෙහි වෛරයෙන් නොබලන පරිභව නොකරන චින්තනයක්. ඉතිහාසයේ වටිනාකම් වලින් අනාගත සරිකර ගන්නා චින්තනයක්. ඒ චින්තනයෙන් බලගැන්වුණු නායකයෙක් අද අපේ රටට අවශ්‍යයි.



තමන්ගේ රාජ්‍යයට, සංස්කෘතියට ගරහන මනසකට මේ රටේ පිබිදීමක් ඇති කරන්න බැහැ. ඒ නිසා මේ විනාශකාරී දිළිඳු මනස මුලිනුපුටා දැමිය යුතුයි. එතකොට අපිට පුළුවන් හුණ්ඬුවකට වඩා වැඩි අගයක් අපේ මවුබිමට ලබා දෙන්න. ඔබ සියලු දෙනාට බොහොම ස්තූතියි.

 

 

 theleader.lk 

Search