ඩො.මි 2.5 මහා භාණ්ඩාගාර කොල්ලයත් හැක් වෙන ලකුණු ! “වගකීම පුද්ගලික අංශය පිට පටවා අභ්‍යන්තර හොරුන් බේරීමේ උත්සාහයක් ගැන අනාවරණයක් !

 ඩො.මි 2.5 මහා භාණ්ඩාගාර කොල්ලයත් හැක් වෙන ලකුණු ! “වගකීම පුද්ගලික අංශය පිට පටවා අභ්‍යන්තර හොරුන් බේරීමේ උත්සාහයක් ගැන අනාවරණයක් !

මහා භාණ්ඩාගාරය හරහා විදේශ ණය වාරිකයක් ගෙවීමේදී සිදුව ඇති බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 750කට අධික) මූල්‍ය මංකොල්ලයේ වගකීම රජයට සම්බන්ධයක් නැති පුද්ගලික ආයතන දෙකක් මත පැටවීමට රජය සූදානම් වන බවට ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානය බරපතළ චෝදනාවක් එල්ල කරයි.

එම සංවිධානය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් අවධාරණය කළේ, රජය මෙය බාහිරින් පැමිණි “හැකර්” (Hacker) ප්‍රහාරයක් ලෙස පෙන්වීමට උත්සාහ කළද, සත්‍ය වශයෙන්ම මෙය මහා භාණ්ඩාගාරයේ සහ මහා බැංකුවේ අභ්‍යන්තර තොරතුරු කාන්දු වීමක් හරහා සිදුවූවක් බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූර්යපෙරුම අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු මුදල් කමිටුව මඟහැර ඇති බවත්, ඔහු අඛණ්ඩව සත්‍ය තොරතුරු වසන් කරමින් සිටින බවත් මෙහිදී අනාවරණය විය. යුක්ති සහගත විමර්ශනයකට ඉඩ සලසමින් ලේකම්වරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොමැති නම් ඔහු ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කරන්නැයි මුදල් කමිටුවෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සිහිපත් කළේය .

2024 අංක 33 දරන ණය කළමනාකරණ පනතේ 8 වැනි වගන්තිය ප්‍රකාරව ‘ණය සේවාකරණ කමිටුව’ පිහිටුවා තිබුණේ නම් මෙම අපරාධය වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව පෙන්වා දුන් ඒ මහතා, එම පනත නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම මෙම මහා මංකොල්ලයට සෘජුවම මග පාදා ඇති බවට චෝදනා කළේය.

රජයේ ණය මුදල්, ගෙවන ලද වාරික සහ පොලිය පිළිබඳ විනිවිදභාවයකින් යුතුව වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීම බලධාරීන් පැහැර හැර ඇති බවත්, මහා බැංකුව සහ මහා භාණ්ඩාගාරය කිසිදු වරදක් නොකරන “සර්වතෝභද්‍ර” ආයතන ලෙස සලකා කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තු මුදල් කමිටුවට තමන් සතු ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම සිදුවීමට අදාළ කරුණු 15ක් පිළිබඳව අවධානය යොමු කරමින් පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගෙන් කරුණු විමසීමට කටයුතු කර ඇති බවත්, වහාම මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටු කළ යුතු බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි

Search