සුරේෂ් සලේ රඳවාගැනීම ජාත්‍යන්තරයට! - බිරිඳගෙන් IGPට සහ තානාපති කාර්යාලවලට ලිපියක් !

සුරේෂ් සලේ රඳවාගැනීම ජාත්‍යන්තරයට! - බිරිඳගෙන් IGPට සහ තානාපති කාර්යාලවලට ලිපියක් !

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා බුද්ධි ප්‍රධානියකු සහ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට ෆාත්ෆයින්ඩර් ආයතනයේ විධායක නිලධාරියකු වන විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ සිද්ධිය දැන් දැවැන්ත ජාත්‍යන්තර අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතී.


සලේ මහතාගේ බිරිඳ විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද අතිශය සංවේදී කරුණු ඇතුළත් ලිපියක පිටපත් මෙරට සිටින විදේශීය තානාපති කාර්යාල වෙත ද ඊමේල් හරහා යොමුකර ඇතැයි අප වෙත වාර්තා වේ.

තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම ලිපි මගින් හෙළිදරව් වන්නේ, වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන දේශපාලන දඩයමක්, මූලික මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් සහ අත්අඩංගුවේ පසුවන නිලධාරියාට එරෙහිව සිදුවන දරුණු මානසික වධහිංසා පිළිබඳ තැතිගන්වනසුලු තොරතුරුය.

ඉහත කරුණු සනාථ කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින තම සැමියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිපාලකයින් විසින් සිදුකරන කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන එස්.බී.එම්.එස්.බී. සලේ මහත්මිය විසින් 2026 මාර්තු 07 වන දින පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත බරපතල පැමිණිල්ලක් යොමු කර ඇත.

අත්අඩංගුවට ගැනීම සහ පනවා ඇති දැඩි සීමාවන්

* වසර 35කට අධික කාලයක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට විශිෂ්ට ලෙස සේවය කර ඇති, විශිෂ්ට සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබූ සලේ මහතා 2026 පෙබරවාරි 25 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

* ඔහුව 2026 පෙබරවාරි 28 දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා ඇත.

* රඳවා සිටින සැමියාට නිවසින් ආහාර සැපයීමට කළ ඉල්ලීම CID අධ්‍යක්ෂවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

* පවුලේ සාමාජිකයින්ට ඔහු බැලීමට අවසර ලබා දී ඇත්තේ සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පමණක් වන අතර, ඒ සඳහාද පොලිස් නිෂ්කාශන වාර්තා ලබා දීම අනිවාර්ය කර තිබේ.

* නීතිඥ සහාය ලබාගැනීම බදාදා දිනවලට පමණක් සීමා කර ඇති අතර, ඒ සඳහා පෙර දිනයේ ලිඛිතව ඉල්ලීම් කළ යුතු බව දන්වා ඇත.

අධිකරණ ක්‍රියාවලියේ බරපතල අක්‍රමිකතා :

* 2026 මාර්තු 04 වැනි දින, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 35882/24 දරන නඩුවට අදාළව නීතිඥවරුන් විසින් මෝසමක් ගොනු කර ඇත.

* මෙම නඩු විභාගයේදී, සලේ මහතා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට නිල වශයෙන් දන්වා නොමැති බව මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කර තිබේ.

* අධිකරණය හමුවේ පෙනී සිටි CID නිලධාරියා (PC 85967) ප්‍රකාශ කර ඇත්තේ සලේ මහතා කිසිදු නඩුවක සැකකරුවෙකු ලෙස තවමත් නම් කර නොමැති බවයි.

* ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන රැඳවුම් නියෝගයක සහතික කළ පිටපතක් පැය 48ක් ඇතුළත අදාළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, CID ය විසින් එවැන්නක් කර නොමැති බව පෙනී ගොස් ඇත.

නීතිඥ රහස්‍යභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීම

* 2026 මාර්තු 04 දින CID විශේෂ ඒකකයේදී පැවති නීතිඥ-සේවාදායක සාකච්ඡාවේදී, නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ට මුහුණලා අසුන්ගෙන සංවාදය සහ චලනයන් නිරීක්ෂණය කර ඇත.

* සාකච්ඡාව පටිගත වන අයුරින් එක් නිලධාරියෙකු ජංගම දුරකථනයක් මේසය මත තබා ඇති අතර, එය ඉවත් කර ඇත්තේ නීතිඥවරයාගේ විරෝධයෙන් පසුවය.

* මෙම සංවාදය අතරතුරදී අදාළ නිලධාරීන් විසින් විමර්ශනයට අදාළ යැයි පවසමින් සංවාදයේ ලිඛිත සටහන් ලබා ගැනීමට කටයුතු කර ඇත.

කෲර, අමානුෂික සැලකීම් සහ මානසික වධහිංසා

* මාර්තු 04 වන දින නීතිඥ හමුවෙන් පසු සලේ මහතාව මීයන්ගෙන් ගහන, අධික උණුසුම් සහ වාතාශ්‍රය නොමැති සිරමැදිරියකට මාරු කර ඇති බව ඔහු සිය සහෝදරයාට පවසා තිබේ.

* මේ තත්ත්වය හේතුවෙන් ඔහුට දරුණු ඉරුවාරදය (migraine) හිසරද තත්ත්වයක් වර්ධනය වී ඇති නමුත් ඒ සඳහා කිසිදු ඖෂධයක් ලබා දී නොමැත.

* පාපොච්චාරණයක් ලබා දෙන ලෙස බල කරමින් මානසික වධහිංසාවකට සමාන වන පරිදි ඔහුට දැඩි මානසික පීඩනයක් එල්ල කරන බවටද පැමිණිලි කර ඇත.

විමර්ශනයේ පක්ෂග්‍රාහී බව පිළිබඳ බරපතල චෝදනා

* පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ 2024 ජනාධිපති කොමිසම් සභා වාර්තාවක් මගින්, වත්මන් CID අධ්‍යක්ෂවරයා සහ පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා යන දෙදෙනාම වරදකරුවන් බවට තීරණය කර අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර ඇති පුද්ගලයින් බව පැමිණිල්ලේ අවධාරණය කර ඇත.

* වත්මන් CID අධ්‍යක්ෂවරයාට සලේ මහතා කෙරෙහි ඇති පුද්ගලික එදිරිවාදිකම් පෙන්නුම් කරන හඬ පට ද සමාජ මාධ්‍යවල සංසරණය වන බව එහි දැක්වේ.

* මෙවැනි තත්වයක් යටතේ එම පුද්ගලයින්ගේ මඟපෙන්වීම යටතේ මෙම විමර්ශනය සිදු කිරීම ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට මූලික වශයෙන්ම පටහැනි බව පවුලේ සාමාජිකයින් පෙන්වා දෙයි.

පොලිස්පතිවරයාගෙන් කර ඇති ප්‍රධාන ඉල්ලීම්

තම සැමියාට සිදුකරනු ලබන කෘර හා අමානුෂික වද හිංසා සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පැමිණිල්ල වෙනුවෙන් පහත පියවර ගන්නා ලෙස සලේ මහත්මිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි:

1. වත්මන් CID අධ්‍යක්ෂවරයාගේ පාලනයෙන් තොර ස්වාධීන ඒකකයක් මගින් ප්‍රකාශයක් සටහන් කර ගැනීම.

2. සලේ මහතා රඳවා තබා ඇති ස්ථානය CID පරිශ්‍රයෙන් වහාම වෙනස් කිරීම.

3. අදාළ විමර්ශනය වෙනත් පොලිස් කොට්ඨාසයකට මාරු කිරීම.

4. ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු (JMO) සහ මනෝ වෛද්‍යවරයෙකු වෙත කඩිනමින් ඉදිරිපත් කිරීම.

5. මෙම කෲර සහ අමානුෂික සැලකීම්වලට වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම.

මෙම පැමිණිල්ලේ පිටපත් ජනාධිපතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ඇමරිකාව, චීනය, ජපානය ඇතුළු මෙරට පිහිටි විදේශීය තානාපති හා මහ කොමසාරිස් කාර්යාල වෙත යොමු කර ඇත.

(විශේෂ වාර්තාකරුවකු විසිනි )

Search