පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවෙකු ලෙස රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 03ක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඒ වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතන සිදුවීම සහ මඩකලපුව සයින්දමරුදු පිපිරීම පිළිබඳ වූ විමර්ශන නොමඟ යැවීමසම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේදීය.
2018 වසරේ නොවැම්බර් 29 වනදා වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදුහි නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.
එහිදී විමර්ශනයට අදාළව පිටු 25කින් යුත් වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, නඩුවේ පළමු සැකකරුවන් දෙදෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.
එහි තෙවන සැකකරුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින බවත්ය.
තෙවන සැකකාර සුරේෂ් සලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවට කරුණු විමර්ශනයේදී අනාවරණය වී ඇත්දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා කියා සිටියේ, ප්‍රධාන පැතිකඩ 03ක් ඔස්සේ සුරේෂ් සලේගේ සැකකාරභාවය පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවය.
"ස්වාමිනි, ත්‍රස්ත ප්‍රහාරයට පෙර සමයේ යුධ හමුදා බුද්ධි අංශය විසින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු දිගුකාලීනව තොරතුරු කරුවෙක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.
මේ තුන්වන සැකකරු එම ඔත්තුකරු යොදාගනිමින් කටුවපිටිය දේවස්ථානය මුස්ලිම් අන්තවාදින්ට පෙන්වා තිබෙනවා. ඒ වගේම යුධ හමුදා බුද්ධි අංශය පානදුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් තොරතුරුකරුවෙකු මෙවැනි ප්‍රහාරයක් සිදුවේවියැයි පෙර දැනුම්දීමක් කරලා තියෙනවා.
නමුත් ඊට සුදුසු පියවරක් බුද්ධි අංශය අරගෙන නැහැ. ප්‍රහාරයෙන් පස්සේ එම ඔත්තුකරු බුද්ධි අංශයට පවසා තිබෙනවා "යුධ හමුදාවේ වසර 20ක්වත් පළපුරුද්ද තිබෙන ඉහළ නිලධාරියෙක් මේ පිටිපස්සේ ඉන්න ඕනේ කියලා.
පස්සේ යුධ හමුදා බුද්ධි අංශයම එම ඔත්තුකරුව අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරදීමක් සිදුකර තිබෙනවා. පසුව නීතිපති උපදෙස් මත ඒ ඔත්තුකරු නිදහස්වෙලා තියෙනවා.
නිදහස් වෙලා ආවාට පස්සේ මේ තුන්වන සැකකාර සුරේෂ් සලේ ඔත්තුකරුව හෝටලයකට ගෙන්වා ස්තූතියි කරලා තියෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් එම පුද්ගලයෝ මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශ දී තිබෙනවා" යැයි පැවසීය.
මෙහිදී සාරා ජෙස්මින් නැමැත්තිය මියගිය බවක් DNA පරීක්ෂණ දෙකකදී අනාවරණය වී නොතිබූ පසුබිමක තුන්වන වරටත් DNA පරීක්ෂණයක් කිරීමට සුරේෂ් සලේ විමර්ශන නිලධාරින්ට බලපෑම් කර ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.
"ස්වාමිනි පාස්කු ප්‍රහාරයෙන් පසු දිනක සෙයින්දමරුදු නිවසේ පිපිරීම සිදුවීම වන අවස්ථාවේ එම ස්ථානයේ සිටී සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයක් මේවන තුරු සොයාගෙන නැහැ. පළමු DNA පරීක්ෂණ දෙකේදීම ඇයගේ මෘත ශරීරයක් හඳුනාගැනුණේ නැහැ. එහෙම තියෙද්දි තෙවන DNA පරීක්ෂණයක් සිදුකරන ලෙස මේ සැකකාර සුරේෂ් සලේ දිගින් දිගටම විමර්ශන නිලධාරින්ට බලපෑම් කරලා තියෙනවා.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ විමර්ශන නිලධාරි නිශාන්ත සොයිසා ප්‍රකාශ දී ඇති අන්දමට ආරක්ෂක කවුන්සලය තුලත් මේ බලපෑම සිදුකරලා තියෙනවා" යැයි පැවසීය
අනතුරුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු දැක්වීය.
"මොනවාද ස්වාමිනි මේ විමර්ශන නිලධාරීන් කියන කතා? රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ලෙස සිටි මගේ සේවාදායකයා කොහොමද ආරක්ෂක කවුන්සලය කැඳවලා පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරින්ට බලපෑම් කරන්නේ ?.
රාජ්‍ය බුද්ධි සේවය තියෙන්නෙත් පොලිස්පති යටතේයි. ඔය කියන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් ඒ කාලේ නිල ඇඳුම් ඇඳලාද රස්සාව කරලා තියෙන්නේ ? ලැජ්ජයි.
මට කියන්න තියෙන්නේ ස්වාමිනි පාස්කු ප්‍රහාරය සිද්ධවෙන අවස්ථාවේ මේ තුන්වන සැකකරු ලංකාවේ හිටියෙත් නැහැ. ඔහු හිටියේ මැලේසියාවේ. 2018 ජනවාරි මාසයේයි ඔහු ලංකාවෙන් පිටත්වෙලා තියෙන්නේ.
අනික ස්වාමිනි මේ වෙද්දි පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන 25කට වඩා වෙලා තියෙනවා. මුලින්ම කිව්වා ඉන්දියාවෙන් පෙර දැනුම්දීමේ තොරතුරක් ආවා, ඒකට අදාළව අවශ්‍ය පියවර නොගත්තා කියලා හිටපු පොලිස්පතිවයි, ආරක්ෂක ලේකම්ටයි එරෙහිව නඩුත් දැම්මා. දැන් කියනවා බුද්ධි අංශයේ කව්ද ප්‍රහාරය ගැන පෙර දැනුම්දීමක් කළා කියලා.
ස්වාමිනි, ඔය කවුරුන් තොරතුරු දුන්නත් තොරතුරු ලැබිලාත් ප්‍රහාරය වළක්වා ගන්න බැරිවුණ එදා CID එකේ ඉඳපු අයමයි අද මේ විමර්ශන මෙහෙයවන්නේ. ඔය මොන විමර්ශනත් අවශ්‍ය නැහැනේ ඒ අය එදා ප්‍රහාරයට පෙර සහරාන්ව අල්ලගත්තා නම්.
මේක කියවන්න ස්වාමිනි, මේ ජයකි ද අල්විස් වාර්තාව. ඕක කියවපුවාම තේරෙයි වගකිවයුතු අය පිළිබඳව. මේ අය විමර්ශනය මෙහෙයවද්දි කොහොමද ස්වාමිනි මේක අපක්ෂපාති විමර්ශනයක් වෙන්නේ ".
මෙහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂවරයාව මේවනවිට රැඳවුම්භාරයේ තබාගෙන සිටින ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වුවා.
"ස්වාමිනි මට උපදෙස් ලැබෙන විදිහට මේ වෙද්දි මගේ සේවාදායකයාව රඳවා තබාගෙන ඉන්නේ ඉතාම පහත් හා කෘෘර විදිහට. පුතා තාත්තාව බලන්න ගියාමත් පොලිස් සහතික අරන් එන්න කියනවා. නීති කෘත්‍යයට අදාළව අපිට ඔහුව හමුවෙලා උපදෙස් ගන්නත් බැහැ.
නීතිඥවරුන්ට පවා දැනුම්දී තිබෙන්නේ ඔහුව හමුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉදිරියේ කරන්න කියලා. අන්තීම දවසේ නීතිඥවරුන් ඔහු හම්බෙන්න ගියාම නිලධාරින් දෙපැත්තේ ඉඳලා කතා කරන දේවල් Record කරලා.
ඉතිං කොහොමද ස්වාමිනි අපි උපදෙස් ගන්නේ. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව සඳහන් මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක්."
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා දෙපාර්ශවයේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
"මා විසින් මෙම නඩුකරයට අදාළව පෙර නඩුවාරයේ ලබාදුන්නු නියෝග විමර්ශන නිලධාරින් විසින් සැලකියයුතු මට්ටමකට ක්‍රියාත්මක කර ඇති බව පෙනීයනවා. තුන්වන සැකකරුට අදාළව ඉදිරිපත්වෙලා තියෙන කරුණු පාස්කු ප්‍රහාරයට සෘජුව අදාළ කරුණු. එම සාක්ෂි ප්‍රමාණවත්ද යන්න ඉදිරි විමර්ශන මත තීරණය කළ යුතුයි.
තුන්වන සැකකරු සම්බන්ධයෙන් කිරීමට ඇති සියලුම ඉල්ලීම් ලිඛිතව කරන්න. පසුව ඒ පිළිබඳ සලකා බලා නියෝගයක් නිකුත් කරන්නම්".
ඒ අනුව නඩුව වැඩිදුර විමර්ශන වාර්තා සඳහා මාර්තු 25 කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
adaderana.lk