ජල ගාස්තුත් ඉහළ යන ලකුණු

ජල ගාස්තුත් ඉහළ යන ලකුණු

එළැඹෙන ජූනි මස 30 වනදා ජල ගාස්තු සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇත.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේ වසරකට දෙවතාවක් සිදු කරන නිත්‍ය ගාස්තු සංශෝධනයට අනුව ජූනි අවසානයේ පවතින තත්ත්වය මත මෙම තීරණය ගන්නා බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජල බිල වසරකට දෙවතාවක් සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තියක් බවයි.

ඒ අනුව, ජූනි මස 30 වන දින වන විට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය, නඩත්තු වියදම් සහ පවතින ආර්ථික සාධක සලකා බලා ගාස්තු ව්‍යුහයේ වෙනසක් කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙම ජල බිල සමාලෝචනය හුදෙක් සාමාන්‍ය සංශෝධනයක් පමණක් නොවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. පසුගියදා විදුලි ගාස්තු 18%ක් දක්වා ඉහළ දැමීම සමඟ 2026 වසරේ ගතවූ මාස 5 ක කාලය තුළ විදුලි ගාස්තු 44% කින් වැඩිවී ඇති පසුබිමේ ජල ගාස්තු වැඩිවීමට එය ඍජුවම බලපාන ප්‍රධාන සාධකයකි.

ජලය පිරිපහදු කිරීමේදී සහ උස් ප්‍රදේශවලට ජලය පොම්ප කිරීමේදී විදුලිය විශාල වශයෙන් වැය වන බැවින්, විදුලි බිල ඉහළ යාමේ පිරිවැය පියවා ගැනීමට ජල ගාස්තු ද අනිවාර්යයෙන්ම ඉහළ දැමීමට රජයට සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

විදුලි බිල වැඩිවීම නිසා දැනටමත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළ යමින් ඇති පසුබිමක, ජල ගාස්තු ද ඉහළ දැමුවහොත් එය පොදු ජනතාවට යම් පීඩනයක් එල්ල කෙරුණු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි ..

විශේෂයෙන්ම ආහාර පාන සපයන ආයතන, හෝටල් සහ කර්මාන්තශාලා සඳහා විදුලිය මෙන්ම ජලය ද ප්‍රධාන අවශ්‍යතාවක් වන බැවින්, මෙම සංශෝධනය හරහා නැවත වටයකින් ජීවන වියදම ඉහළ යාමේ අවදානමක් පවතී.

ජූනි 30 වනදා සිදුවන මෙම සංශෝධනයේදී ජනතාවට සහනයක් හිමිවෙයිද, නැතහොත් විදුලි බිල මෙන්ම ජල බිල ද ඉහළ යනු ඇත්ද යන්න පිළිබඳව රජය මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නැත. එහෙත් පවතින ආර්ථික දත්ත සහ පිරිවැය ඉහළ යාම් අනුව ජල බිල ඉහළ දැමීමේ ස්වභාවයක් පැහැදිලිවම පෙන්නුම් කරන බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි

Search