නාමල් ගේ විවාහ මංගල උත්සවයේ විදුලි බිල නොගෙවීමට එරෙහි පෙත්සම විභාගයට

 නාමල් ගේ විවාහ මංගල උත්සවයේ විදුලි බිල නොගෙවීමට එරෙහි පෙත්සම විභාගයට

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ගේ විවාහ උත්සවයට විදුලිය ලබා ගැනීම

වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලි බල මණ්ඩලයට නොගෙවීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 01 වනදා විභාගයට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) නියම කළේය.

 අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ කුමුදුනී  වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම පෙත්සම කැඳවන ලදි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ, මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස ලංකා විදුලිබල මණ්ඩලය නම් කර ඇති නමුත් මේ වනවිට ලංකා විදුලි බල මණ්ඩලය  සමාගමක් බවට පත් කිරීම නිසා එම සමාගම මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කළ යුතු බව සදහන් කළේ ය.

ඒ අනුව පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස ද, විදුලි බල පනතේ අන්තර් කාලීන විධිවිධාන අධ්‍යයනය කර මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලය සතු වගකීම් සහ දේපළ පුද්ගලික සමාගම් 05 කට පවරා ඇති බව ද, නාමල් රාජපක්ෂ ගේ විවාහ උත්සවය වෙනුවෙන් ලබා ගත් විදුලි බිල  දැනටමත් ගෙවා අවසන් කර තිබෙන බව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාලිත කුමාරසිංහ  සඳහන් කළේය.

 

ඒ අනුව මෙම පෙත්සම යළි ජූලි මස 01 වනදා කැඳවන ලෙස නියම කළේය.

නීතිඥ විජිත කුමාර විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි එහි වග උත්තරකරුවන් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

මෙම විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කර ඇති බවට වග උත්තරකාර පාර්ශ්වය මීට පෙර ද අධිකරණයට දැනුම් දුන්නේය.
 

සාමාන්‍ය මහජනතාවගේ කුඩා වටිනාකම් වලින් යුත් විදුලි බිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් සිදු කරන  බව එම අවස්ථාවේදී සදහන් කළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා,  මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නිසි වේලාවට අය කර ගැන ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු  කර නොමැති බව සඳහන් කළේය.

එය බරපතළ වරදක් බව ද ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා පමණක් මෙම නඩුකරය පවත්වාගෙන යාමෙන් අපේක්ෂා කරන බවත් නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

 ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.

(සටහන | නෙල්කා මැදගෙදර)
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනි

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

Search