අධිකරණ ඇමතිවරයාට එරෙහිව අජිත් පී. පෙරේරාගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

අධිකරණ ඇමතිවරයාට එරෙහිව අජිත් පී. පෙරේරාගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් ඊයේ(20) දිනයේදී පාර්ලිමේන්තුවේදී කතානායක ජගත් වික්‍රමරත්න මහතාට ලිඛිතව බාරදුන් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරනවා.



පාර්ලිමේන්තුවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාස වන ආකාරයෙන් අභිනයකින් අධිකරණ අමාත්‍යවරයා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට අපහාස කළ බවයි මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරය, කතා කළ යුතු ආකාරය, කුමන ඇඳුමකින්ද සැරසී සිටිය යුතුද යන ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවේ ආචාර ධර්මවල සඳහන් වන බවත් එම ආචාර ධර්ම උල්ලංඝණය කරන කෙනෙකු සිදු කරන්නේ පාර්ලිමේන්තුවට බරපතල ආකාරයේ අපහාස කිරීමක් බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.


එම නිසා අදාල මන්ත්‍රීවරයාට මයික්‍රෆෝනය විවෘත කර තිබුණද නොතිබුණද ඔහුගේ හැසිරීම පිළිබඳව අනිවාර්යයෙන්ම ඔහු වගකීමෙන් කටයුතු කළ යුතු බවද අජිත් පී.පෙරේරා කියා සිටියා.


තමා ජාතික වශයෙන් වැදගත් කමකින් යුත් ප්‍රශ්න ඇසු අවස්ථාවලදී අධිකරණ අමාත්‍යවරයා ඊට පිළිතුරු ලබා නොදීම ගැන තමා විමසූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා අභිනයෙන් තමා ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාස වන ආකාරයෙන් ක්‍රියා කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.



ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ පළාත්බද කාර්යාල ස්ථාපිත කිරීමට "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වී තිබෙනවාද කියා තමා අධිකරණ අමාත්‍යවරයාගෙන් එම ප්‍රශ්නයෙන් විමසා සිටිය බවද අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Search