තෙල් මිල වැඩි වීමත් සමග සමස්ත ජනතාව ම බරපතළ ගැටලුවකට මුහුණ දීලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

තෙල් මිල වැඩි වීමත් සමග සමස්ත ජනතාව ම බරපතළ ගැටලුවකට මුහුණ දීලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

තෙල් මිල වැඩි වීමත් සමග ජනතාව තුළ අසීමිත පීඩනයක් අසහනයක් නිර්මාණය වී ජීවත් වීමේ ගැටලුවට සමස්ත ජනතාවම මුහුණ දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද බොරැල්ල මැගසින්  පාර උත්සව ශාලාවේ තිබූ ‘බොරු මදිවට හොරු - අනුර Fail, ජනතාවට අමාරුයි ආර්ථිකය අනතුරේ’ යන තේමාව මුල් කර ගත් මහජන කථිකාව  අමතමිනි.

එම කථිකාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

 

ඉන්ධන මත බදු හතරක් පනවලා

''සමස්ත සමාජයම අමාරුවෙන් ජීවත් වන මොහොතේ රටේ සිදුවන දේ ගැන ජනතාව දැනුවත් විය යුතු යි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණය ජය ගත්තේ, පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගත්තේ, විදුලි බිල 1/3  අඩු කර 9000 විදුලි බිල 6000 කර 33%කින් විදුලි බිල අඩු කරනව කියමින්. 

දැන් 33%කින් විදුලි බිල අඩු කිරීම කෙසේ වෙතත් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දෙන බව පැවසූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අද වන විට තෙල් මත බදු පිට බදු පටවා බදු හතරක්ම පනවලා. විපක්ෂය ලෙස සමගි ජන බලවේගය බොරු කියා ඡන්ද ලබා ගන්න අකැමැති නිසා, බොරු නොකිව් නිසා ජනතාව ඡන්දය දුන්නෙ නෑ. එහෙත් වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කියල බොරු පිට බොරු කියපු වත්මන් රජයට ජනතාව ඡන්දය දීල දැන් අන්ත අසරණ වෙලා.

 

ජන්දය ගන්න කියපු දේවල් දැන්වත් ක්‍රියාත්මක කරන්න

දැන්වත් වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීමට රජය කටයුතු කළ යුතු යි. මැදපෙරදිග යුද්ධය පාලනය කළ නොහැකි වුනත් තෙල් මිල පාලනය කරන්න පුළුවන්. ගොඩබාන තෙල්වලට වැට් ගහන්නේ බදු ගහන්නේ ඇයිද කියා ප්‍රශ්න කරනවා. දැන්වත් ජන්දය ගන්න කියපු දේවල් ක්‍රියාත්මක කරන ලෙසත් තෙල් මිල ඉහළ යාම නිසා අසරණ වූ ජනතාවට ශක්තියක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මිල සූත්‍ර පිළිගන්නේ නෑ කියපු වත්මන් රජය දැන් අමුතු මිල සුත්‍රයක් යොදා ගන්නවා. 

ලෝකයේ තෙල් මිල අඩු වුනත් අප රටේ නම් තෙල් මිල අඩු වෙන්නෙ නෑ. මිල සූත්‍රය දූෂිතයි කියපු මාලිමා රජය ම දැන් ඒ මිල සූත්‍රයේ වහලකු වෙලා. බදුු කොමිස් ඉවත් කර සමාජ සාධාරණත්වය ඇති කරනවා කිව්වත් බලය ලබා ගත් පසු ඒ සියල්ල අමතක කරලා.

 

බලය ගත්ත ගමන් ලංවීම විනාශ කළා

විදුලි බල මණ්ඩලයට අත තියන්න එපා කියල විදුලි බල මණ්ඩලය විනාශ කළා. 23000ක් සේවකයන් පාරට බස්සවා දේශපාලන බලය ලබා ගෙන රජ පුටුවලට ගොස් මේ සේවකයන් අමතක කළා.  ජනතාව දැන්වත් අවංකව තමා වෙනුවෙන් සේවය කරන්නේ කවුද කියා අවබෝධයෙන් සිටිය යුතු යි. ජනතාව අන්දවන අය කවුද කිය දැනගත යුතු යි. මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කවදාවත් තිබුණෙ නෑ.

 

බාල ගල් අඟුරු නිසා සිදු වූ පාඩුව ජනතාව කරපිටට

මේ වන විට රජය බාල ගල් අගුරු ගෙන්වා නොරොච්චෝල බලාගාරය අකර්මණ්‍ය කර මේ දූෂිත ක්‍රියාවලිය යුද්ධය කරපිටින් දා වසා දැමීමට කටයුතු කරනවා. මේ බාල ගල් අඟුරු නිසා නොරොච්චෝල බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කිරීම අවම වෙලා. ඉතිහාසයේ කිසිදු දවසක් සිදු නොවූ ආකාරයට නිශ්චිත විදුලි බල උත්පාදනය සිදු කිරීමට මේ බලාගාරයට නොහැකි වෙලා. ඒ් බව කියන්නෙ මහජන උපයෝගීතා කොමිසම යි. මේ යන විදිහට ගියොත් ඉදිරි මාසවල සිදුවන බලාගාර නඩත්තු නිසා විදුලි කප්පාදුවක් කරා යාමට සිදුවන බවට දන්වා තිබෙනවා. 

නිශ්චිත මෙගවොට් ප්‍රමාණය නිෂ්පාදනය නොවන නිසා ඉන්ධන බලාගාර හරහා වැඩි පිරිවැයක් වැය කර විදුලිය ලබා ගැනීමට සිදුවනවා. මෙහි පිරිවැය දරන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයන්ට. ඊට අමතරව මේ බලගාර සඳහා විදුලිය ලබා ගැනීමට ඉන්ධන ලබා ගන්න නිසා ඉන්ධන හිඟයක් ඇතිවෙලා, ආර්ථිකය සංකෝචනය වෙනවා. මේ තුළින් ගෘහයෙ ආදායම පහත වැටී ඉතිරි කිරීම් ආයෝජන පාරිභෝජන පහළ වැටී දුප්පත්කම වැඩි වෙනවා.

දූෂිතයන් අල්ලනවා කියපු රජය දැන් බාල ගල් අඟුරු ගෙන්වා දැඩි දූෂණයක් සිදු කර තිබෙනවා. තෙල් මිල අඩු කරන්න නොහැකි වී ඇති මේ රජයට අවම වශයෙන් දුප්පත්කම ගැනවත් දත්ත නැති බවත් රටේ 1/3ක් දුප්පත් වී ඇති මොහොතක මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට ආණ්ඩුවට උත්තර නැති බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

 

ආණ්ඩුවේ විහිළු නිසා දුක් විදින්නේ රටේ ජනතාව

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ සමයේ උතුරේ යුද්ධයත්, දකුණේ ත්‍රස්තවාදයත්, ගල්ෆ් යුද්ධයත් තියාගෙන රටේ කර්මාන්ත ශාලා ඇති කළා, යුද්ධය නිසා මැදපෙරදිග හැර ආ අපේ රටේ ජනතාවට වන්දි පවා දුන්නා. අද යුද්ධය නිසා මැදපෙරදිග සිටින අප රටේ ජනතාවට අත්වන ඉරණම ගැනවත් ආණ්ඩුවට සැලසුමක් නෑ. ආණ්ඩුව දන්නේ විපක්ෂය පෙන්වා දෙන සත්‍ය යථාර්ථය සමාජ මාධ්‍ය හරහා විහිළුවට ලක් කරන්න විතරයි. මේ ආණ්ඩුවේ විහිළු නිසා දුක් විදින්නේ රටේ ජනතාව. 

දිට්වා නිසා විපතට පත් ජනතාවට සහන දෙන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න කිව්වත් එය එපා කිව්වා. කොයි තරම් ඉහළ තානාන්තර දෙනවා කිව්වත් ජනතාව රවටන්න නම් බෑ. දැන්වත් රජය මේ බොරුව නතර කළ යුතු යි. මැතිවරණ සමයේ වූ පොරොන්දු ටික ඉටු කළ යුතු යි."

 

Search