පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විපක්ෂය පෙනී ඉන්නවා - රවී

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විපක්ෂය පෙනී ඉන්නවා - රවී

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහබැංකුව මධ්‍යස්ථව සිටිය යුතු වුවද, වර්තමානය වන විට එහි ස්වාධීනත්වය පසෙකලා ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන ස්වභාවයක් පෙනෙන්නට තිබෙන බවත්, එය රටේ ඉදිරි ගමනට යහපත් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී ආයතන ස්වාධීනව සහ වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

නව ආදායම් බදු පනත පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, එමගින් මානව හිමිකම් පවා උල්ලංඝනය වන බව අවධාරණය කළේය.

ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින මොහොතක ඔවුන් තවදුරටත් අධෛර්යමත් කරන බදු නොගැසිය යුතු බවත්, ලෝක වෙළඳපොළේ තෙල් මිල සාපේක්ෂව සියයට 30කින් පමණ වැඩි වී ඇති පසුබිමක එහි බර ජනතාවට සහනයක් වන අයුරින් කළමනාකරණය කරන්නේ කෙසේදැයි රජය සොයා බැලිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
එසේම ලබන මාසයේ සිට විදුලි බිල සියයට 13කින් ඉහළ යන බවට පළවන වාර්තා ද ජනතාව තවදුරටත් අගාධයට ඇද දැමීමක් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

රජයේ ඇතැම් තීරණවල පවතින අවිධිමත් භාවය පිළිබඳව කරුණු දක්වමින් කරුණානායක මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“ඉරාන තානාපතිවරයා එකක් කියනවා, ජනාධිපතිවරයා තව එකක් කියනවා. මේ වගේ අවස්ථාවල අපි ප්‍රායෝගිකව සහ වගකීමෙන් යුතුව ප්‍රශ්නවලට නිර්භීතව පිළිතුරු දිය යුතුයි.”

වැඩිවන ජීවන වියදම පාලනය කිරීමට රජය වහා මැදිහත් විය යුතු බවත්, විපක්ෂය ලෙස තමන් නිරන්තරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Search