මෙම අවස්ථාවේදී බලශක්තිය කාර්යක්ෂම සහ ක්‍රමානුකූලව කළමනාකරණය කරගනිමින් භාවිත කළ යුතු බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති, මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර පවසයි.
ඔහු පැවසුවේ මෙම අවස්ථාවේදී සවස 5 සිට අලුයම දක්වා පොසිල ඉන්ධන භාවිත කර බලශක්තිය උත්පාදනය කිරීමට සිදුවන බවය.
ඒ සඳහා ජනතාවගේ දායකත්වයද මේ මොහොතේ ලැබිය යුතු බවත් පෙන්වා දුන් ඔහු පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් බවද පෙන්වා දුන්නේය.
පොසිල ඉන්ධන දහනයෙන් විදුලිය උත්පාදනයේදී විශාල මිලක් දැරිය යුතු බවත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම තුළින් විදුලිය කළමනාකරණය කර ගැනීම තුළ ජනතාවගේ විදුලි බිල අඩු වීම මෙන්ම පොසිල ඉන්ධන දහනයද අවම කර ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
බලශක්ති කාර්යක්ෂම කිරීමේ උපාංග වෙත මහජනතාව යොමුවිය යුතු බවත් පෙන්වා දුන් ඔහු පැවසුවේ මේ වන විට සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ලේබල් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් LED බල්බ, ශීතකරණ යන්ත්‍ර, වායුසමනය යන්ත්‍ර මිලදී ගැනීමේදී මෙවැනි උපාංගවලට යාමෙන් බලශක්ති කාර්යක්ෂම කර ගැනීමේ හැකියාවද පවතින බවය.
එමෙන්ම රට තුළට බලශක්ති අකාර්යක්ෂම උපාංග ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති සකස් වෙමින් තිබෙන බවත් සඳහන් කළ ඒ මහතා කෙටි කාලීනව බලශක්තිය කාර්යක්ෂම කිරීම සඳහාද රජය විසින් වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇතැයිද සඳහන් කළේය.
පවතින තත්ත්ත්වය තුළ මේ වන විට රට තුළට බොරතෙල් ලැබීමේ අඩුවක් පවතින බවත් මේ හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා ඩීසල් භාවිත කරන බවත් මේ හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
දහවල් කාලයේදී සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය වන බැවින් අත්‍යවශ්‍ය කටයුතු රැසක් ජනතාවට කාලය වෙනස් කරගනිමින් දිවා කාලයේදී සිදු කිරීමට හැකියාව පවත්න්නේ නම් විදුලිය උත්පාදනයට යන වියදම අවම කර ගත හැකියාව මෙන්ම ජනතාවගේ විදුලි බල අඩු කර ගැනීමේ හැකියාව පවතින බවද සභාපති මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.