සහල් ගේන්නේ නෑ කියූ ආණ්ඩුව ටොන් 67000ක් ගෙනාවා: රංජිත්

සහල් ගේන්නේ නෑ කියූ ආණ්ඩුව ටොන් 67000ක් ගෙනාවා: රංජිත්

මෙවර කන්නයෙන් ගොවි ජනතාවට විශාල අස්වැන්නක් ලැබීමට නියමිතව තිබියදී රජය සහල් ආනයනය කිරීමට තීරණය කර තිබීම මේ රටේ ගොවි ජනතාවට සිදුකළ බලවත් අසාධාරණයක් බව සමගි ජන බලවේගයේ මහ ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කරනවා.



සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මේ බව කියා සිටියා.


එහිදී මවැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මෙසේද පැවසුවා,



‘‘රජය ජනතාවට ප්‍රකාශ කළ දේවල්වලට විරුද්ධව අද වනවිට කටයුතු කරනවා. සහල් ආනයනය කරන්නේ නැති බව කියු ආණ්ඩුව 2025 වසරේදී සහල් ටොන් 67,000 ක් ගේන්න කටයුතු කරනු ලැබුවා. නමුත් නැවත එක් ආනයනකරුවෙකුට කිරි සම්බා ටොන් 1040 ක් ආනයනය කරන්න ආණ්ඩුව අවසර ලබා දී තිබෙනවා. මෙවර කන්නයෙන් විශාල අස්වැන්නක් ලැබීමට නියමිතයි. එවැනි අවස්ථාවක ආණ්ඩුව සහල් ආනයනය කරන්න කටයුතු කරනවා. සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය සහල් පමණක් ආනයනය කරන්න ආණ්ඩුව කටයුුතු කළ යුතුයි.

ආණ්ඩුව සහල් ආනයනයෙන් මුදල් උපයන්න කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ආණ්ඩුවේ කළමනාකරණයක් නොමැති වැඩපිළිවෙළ හේතුවෙන් ගොවීන් අන්ත අසරණ තත්ත්වයට පත් වී සිටිනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දට දින කිහිපයක් තිබියදී පිටරටින් සහල් ආනයනය කරන්න ආණ්ඩුව සුදානම් වෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙනැවිත් විශාල පාඩුවක් කළා වගේ සහල් ආනයනය හරහාත් රටට විශාල පාඩුවක් අත් කරන්න ආණ්ඩුව උත්සහ දරනවා.


ඒ වගේම 1994 දී ගොවින්ගේ ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 21 ක් තිබුණා. නමුත් අද වනවිට ගොවීන්ගේ ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 7 ක් දක්වා අඩු වී තිබෙනවා. ගොවීන් අද දුප්පත් වී තිබෙනවා. ඒ වගේම යල කන්නයට අවශ්‍ය පොහොරවලින් යුරියා ටොන් ලක්ෂයක අඩුවක් තිබෙනවා. ආණ්ඩුව මේ ප්‍රශ්නයට වගකිව යුතුයි. මැද පෙරදිග යුද්ධයට පෙර මෙම පොහොර තොගය ආනයනය කරන්න ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ඒ නිසා ගොවීන් අද අන්ත අසරණ වී තිබෙනවා.

අත්දැකීම් නැති පාලකයක් රට පාලනය කිරීම හේතුවෙන් ගොවීන් අසරණ වී තිබෙනවා. ආණ්ඩුව අද ගොවීන් පිළිබඳව කිසිදු සංවේදිභාවයක් නැහැ. ආණ්ඩුව මහා පරිමාන සහල් මෝල් හිමියන් පොහොසත් කරන්න කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම රබර් ගොවීන් , තේ ගොවීන්ද ප්‍රශ්න රැසකට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුවට මෙම ගොවීන් සඳහා ලබාදෙන පිළියම කුමක්දැයි ආණ්ඩුව වහාම පැහැදිලි කළ යුතුයි. ආණ්ඩුව සැලැස්මක් නොමැති නිසා ගොවීන්ට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා.

ආණ්ඩුව සැලැස්මකුත් නැහැ දැනුමකුත් නැහැ. බොරු කියලා බලය ගත්ත ආණ්ඩුව ගොවීන් අන්ත අසරණ කර තිබෙනවා. ඒ වගේම ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්න ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ඩීසල් මිල සියයට 38 කින් වැඩි වී තිබෙනවා. ඒ පීඩනය ගොවීන්ට බලපානු ලබනවා. ඒ වගේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවුණත් ගොවීන්ගේ අස්වනුවලට නිසි මිලක් ලැබෙන්නෙ නැහැ. අස්වනුවල මිල වැඩි වෙන්නේ නැහැ.

Search