ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11වන ද්විපාර්ශ්විග දේශපාලන උපදේශන වටය කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී, 2026 අප්‍රේල් දෙවන දා පැවැත්විණි. දෙපාර්ශ්වය ම දෙරට අතර සබඳතා පුළුල් ලෙස සමාලෝචනය කළ අතර, සම්බන්ධතාවේ විෂය පථය සහ වැදගත්කම වැඩි දියුණු කිරීම සඳහා වන ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
නිර්ණායක දර්ශකයක් සැකසීමට එකඟතා
සංචාරක, අධ්‍යාපනය, ආරක්ෂක, තාක්ෂණික සහයෝගීතාව, වෙළඳාම සහ ආයෝජන මෙන්ම ක්‍රීඩා සහ සංස්කෘතික සහයෝගීතාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ අවධානය යොමු විය. රුසියානු රජය සමඟ දැනට සිදුවෙමින් පවතින සංවාදයේ දිගුවක් ලෙස, බලශක්ති, ඛනිජ තෙල්, ගල් අඟුරු සහ පොහොර යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි සාකච්ඡාවල අවධානය තවදුරටත් යොමු විය. ද්විපාර්ශ්වික වෙළඳාම වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර ආර්ථික සම්බන්ධතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා නිර්ණායක දර්ශකයක් සැකසීමට ද දෙපාර්ශ්වය එකඟ විය. රුසියානු හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් සම්බන්ධ කරුණු ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
දෙරට අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය සිහිපත් කරමින්, බහුපාර්ශ්වික සංසදවල අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාවයට ඇති කැපවීම දෙපාර්ශ්වයම නැවත තහවුරු කළහ.
70වන සංවත්සරය 2027 දී
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70වන සංවත්සරය 2027 දී සැමරෙන බැවින්, ඉහළ මට්ටමේ සංචාර ඇතුළුව, සැලසුම් සහගත ක්‍රියාකාරකම් මාලාවක් සමගින් එම සංවත්සරය සුදුසු ආකාරයකින් සැමරීමට දෙපාර්ශ්වය ම එකඟ විය.
රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවූ අතර, එහිදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දිගුකාලීන සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය නැවත අවධාරණය කළහ.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ විසින් උපදේශනවල සම-සභාපතිත්වය දරන ලදී. අදාළ විදේශ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතායතන කිහිපයක ජ්‍යෙෂ්ඨ නියෝජිතවරුද රැස්වීමට සහභාගී වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

newstube.lk