ඉන්දියානු සහ චීන තානාපතිවරුන් හදිසියේ මහින්ද සහ නාමල් හමුවෙති

 ඉන්දියානු සහ චීන තානාපතිවරුන් හදිසියේ මහින්ද සහ නාමල් හමුවෙති

කොළඹ සිටින ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ කොළඹ සිටින චීන තානාපති වී. ෂෙන්හොන් හිටපු ජනාධිපති මහින්ද

රාජපක්ෂ සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා හමුවී පෞද්ගලිකව සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වෙයි.

මෙම හමුවීම්වලින් මුලින්ම පැවතියේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ මහින්ද නාමල් අතර හමුවයි.

ඒ සඳහා මහින්ද රාජපක්ෂ ට සහ නාමල් රාජපක්ෂ ට තානාපතිවරයාගේ නිල නිවසට ඇරයුම් කර තිබිණි.

ඒ අනුව මහින්ද ශිරන්ති යුවළත්, නාමල් ලිමිණි රාජපක්ෂ යුවළත් තානාපති නිල නිවස වෙත පැමිණියහ.

අනතුරුව මහ කොමසාරිස්වරයා මහින්ද සහ නාමල් සමඟ රාත්‍රී භෝජනය ගනිමින් පැය දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ දේශපාලනයට අදාළ කරුණු ගැන සාකච්ඡා කර ඇත. ඒත් මේ කතාබහට අදාළ සවිස්තර තොරතුරු වාර්තා නොවේ.

ඉන්දීය මහ කොමසාරිස් හමුවෙන් දෙදිනකට පසු චීන තානාපති වී. ෂෙන්හොන් සහ ඔහුගේ බිරිඳ මහින්ද රාජපක්ෂ ගේ කොළඹ නිවසට පැමිණ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන ඩිව් ගුණසේකර  ද පොහොට්ටුව මහලේකම් සාගර කාරියවසම් ද එක්වූහ. තානාපති යුවළට රාත්‍රී භෝජන සංග්‍රහයක් ද මහින්ද සහ නාමල් විසින් පිරිනමනු ලැබීය.

මෙම හමුවේදී මෙරට දේශපාලන තත්ත්වය, කලාපීය දේශපාලනය සහ වත්මන් රජයේ දේශපාලන ක්‍රියාකාරකම් ගැන පුළුල් සාකච්ඡාවක් සිදුවූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)

 

Search