ශ්‍රී ලංකාව බොර තෙල් බැරලයකට අමෙරිකානු ඩොලර් 286ක් ගෙවලා: HSBC ප්‍රධානියා අනාවරණය කරයි

ශ්‍රී ලංකාව බොර තෙල් බැරලයකට අමෙරිකානු ඩොලර් 286ක් ගෙවලා: HSBC ප්‍රධානියා අනාවරණය කරයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සාමාන්‍ය මට්ටමක පැවතියද, ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවෙකු බොරතෙල් බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286ක අතිවිශාල මුදලක් ගෙවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



හොංකොං හි පැවැති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරි (Georges Elhedery) විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇති බව 'Middle East Eye' පුවත් සේවය සඳහන් කරනවා.

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල (Brent Crude) ඩොලර් 95-100 සීමාවේ පැවතියද, දකුණු ආසියාතික රටවලට තෙල් මිලදී ගැනීමේදී ඊට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බව HSBC ප්‍රධානියා පෙන්වා දෙනවා.

මේ සඳහා බලපා ඇති ප්‍රධානතම හේතුව මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී යුදමය වාතාවරණයයි.

ඒ අනුව, බටහිර රටවල පවතින benchmark මිල දර්ශකය, ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ගැනුම්කරුවන් ගෙවන සැබෑ මිල පිළිබිඹු නොකරන බවයි ඔහු පවසා ඇත්තේ.

"මාව කනස්සල්ලට පත් කරන්නේ ප්‍රධාන පුවත් සිරස්තල නොවෙයි. එහි දැක්වෙන්නේ තෙල් මිල ඩොලර් 100 හෝ 110 මට්ටමේ පවතින බවයි," යනුවෙන් බ්ලූම්බර්ග් (Bloomberg) ආයතනය වාර්තා කළ සාකච්ඡාවකදී ඔහු පවසා තිබෙනවා.

"නමුත් යථාර්ථවාදීව ඔබ දැන් මැදපෙරදිගින් තෙල් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔබට ඩොලර් 140ක් හෝ 150ක් ගෙවීමට සිදු විය හැකියි," යනුවෙන් ද ඔහු පවසා ඇති බව සඳහන්.

තෙල් බැරලයක් සඳහා තමන්ට අසන්නට ලැබුණු ඉහළම මිල වූ ඩොලර් 286 වාර්තා වූයේ ශ්‍රී ලංකාවෙන් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ.

Middle East Eye වාර්තාවට අනුව, ලෝකයේ විවිධ ප්‍රදේශවල තෙල් විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙනවා.

දැනට West Texas Intermediate බැරලයක් ඩොලර් 91ක පමණ මිලකටත්, බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 95ක මිලකටත් අලෙවි වන බව සඳහන්.

ආසියානු ගැනුම්කරුවන්ට වඩාත් අදාළ වන ඕමාන් (Omani) දර්ශකයට අනුව තෙල් බැරලයක මිල දළ වශයෙන් ඩොලර් 100ක් වන අතර, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගෙන ගල්ෆ් කලාපීය රටවල අපනයන අවහිර කිරීමත් සමග තත්ත්වය බරපතල වී තිබෙනවා.

මීට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව ද ඉරාන තෙල් අපනයනයට එරෙහිව නාවික අවහිර කිරීම් ආරම්භ කර ඇති බවටයි Middle East Eye වාර්තා කර ඇත්තේ.

මේ හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් සැපයුම අතිශය සීමිත වී ඇති අතර, ඕමාන් දර්ශකය පවා සැබෑ තත්ත්වය පැහැදිලි නොවන බවයි HSBC ප්‍රධාන විධායක නිලධාරීවරයා පෙන්වා දෙන්නේ.

යේමනයේ හූති සටන්කාමීන් මීට පෙර බැබ් එල්-මැන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය අවහිර කළ අතර, අමෙරිකාව සිය නාවික අවහිර කිරීම් ඉවත් නොකළහොත් රතු මුහුද ද වසා දැමිය හැකි බවට ඉරානය පසුගිය බදාදා අනතුරු ඇඟවූවා.

 

hirunews.lk 

Search