ඉරාන යුද්ධය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.
එමෙන්ම යුද්ධය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් ඇතිවිය හැකි ගෝලීය ආර්ථික වාතාවරණය පිළිබඳවත් එමඟින් අනතුරු ඇඟවීමක් කර ඇත.
දීර්ඝ කාලීනව යුද්ධය පැවතීමෙන් තෙල් මිල ඉහළ මට්ටමකට පත්වීම ගෝලීය ආර්ථික අවපාතයකට වුවත් හේතුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
ඒ සමඟ දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනයන් පහත වැටීමක් අපේක්ෂා කළ හැකිය.
කෙසේ නමුත් AI තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජන හමුවේ අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සාපේක්ෂව යහපත් මට්ටමක පවතිනු ඇති බවත්, බලශක්ති මිල ඉහළයාම සහ සැපයුම් අඩාලවීම් තුළින් චීනයේ සහ යුරෝපයේ ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකි බවත් IMF වාර්තාව මගින් සඳහන් කරයි.
මෙහිදී ඉරාන යුද්ධයෙන් වැඩිම බලපෑමට ලක්වන කණ්ඩායම ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ නැගී එන වෙළෙඳපොළ රටවල්ය.
කෙසේ නමුත් ඉන්දියාව ඇතුළු රටවල් රැසක් විකල්ප වෙළෙඳපොළ සහ සැපයුම් මුලාශ්‍ර වෙත යොමුවිය හැකි බවත් IMF සඳහන් කරයි.
ඉන්ධන සැපයුම් මත යැපෙන ආර්ථිකයට මෙහිදී වැඩිම පීඩාවන් ඇතිවන බව IMF පෙන්වා දෙයි.
ඉරාන යුද්ධය පදනම් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මට්ටම් තුනක පුරෝකථන ඉදිරිපත් කර තිබේ.
IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියෙරේ ඔලිවියර් විසින් ඉදිරිපත් කර ඇති එම පුරෝකථනවලට අනුව යුද්ධය උත්සන්න වීමේ දරුණුතුම වාතාවරණයකදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකිය.
එහිදී 2026 වසරේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 110 දක්වාත්, 2027 වසරේදී ඩොලර් 125 දක්වාත් ඉහළ යා හැකිය.
යුද්ධය කෙටි කාලීනව දැන් පවතින මට්ටමෙන් අවසන් වුවහොත් මේ වසරේ දෙවැනිභාගය වනවිට තෙල් බැරලයක මිල ඩොලර් 82 දක්වා අඩුවිය හැකි බව IMF පුරෝකථනය කරයි.
යුද්ධය දීර්ඝකාලීනව පැවතීමේ තත්ත්වයකදී මේ වසරේදී තෙල් බැරලයක මිල ඩොලර් 100ක මට්ටමේ පවතිනු ඇති බවත් ගෝලීය ආර්ථික වර්ධනය 2025 වසරේ පැවති 3.4%ට සාපේක්ෂව 2.5% දක්වා පහත වැටෙනු ඇති බවත් IMF සඳහන් කරයි.
ගැටුම් උත්සන්න වීමේ වාතාවරණයකදී ගෝලීය වර්ධනය 2% දක්වා පහත වැටෙනු ඇති බවත් එමගින් සඳහන් කරයි.
එමෙන්ම වඩාත් අහිතකර තත්ත්වයකදී ගෝලීය උද්ධමනය 6% දක්වා ඉහළ යා හැකි බවත්, බොහෝවිට අපේක්ෂා කළ හැකි වාතාවරණයේදී එය 4.4%ක මට්ටමේ පවතිනු ඇති බවත් IMF පුරෝකථනය කර ඇත.